Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ලොව උතුම් දානය - ධර්මදානය​

Thursday, September 2, 2010 , at 4:50 PM

භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා.

දානය කියන වචනයෙන් තමයි ධර්මය ගැනත් දේශනා කරලා තිබෙන්නේ. ධර්ම දානය දිමේදී, දානයක් බවට ධර්මය පත්කිරීමේ දී, ධර්මය දන් දීමේදී අපට වැදගත් වන්නේ මේ ධර්ම දානය දෙන්නේ කොහොමද කියන එකයි. ධර්ම දානයේදී පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම දිය යුතුයි. උන් වහන්සේ දේශනා කළා ධර්ම දානය අග්‍රයි කියලා. එනිසා යම් කෙනෙක් අග්‍ර වූ දෙයක් හැටියට මේ ධර්ම දානය දෙන්න දක්ෂ වුණොත් එය ඔහු ලෝකයාට කරන විශාල යහපතක් . එවිට ලෝකයා කුසල් අකුසල් හඳුනාගන්නවා. පින - පව හඳුනාගන්නවා. මෙලොව පරලොව හඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මය, අසත්පුරුෂ ධර්මය හඳුනා ගන්නවා. සසර නිවන හඳුනා ගන්නවා. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේ නොසිතු නොපැතූ යම් කිසි විස්මිත ඤාණයක් ධර්ම දානය තුළින් ලබාගන්න පුළුවන්කම තිබෙනවා.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍ර කලා අංශයේ ආර්.එස්. ධනෝජා කුමාරසිංහගේ සිතුවමකි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි, ගිහි පිරිස භික්ෂූන් උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානෝපත්‍ය කියන සිවුපසයෙන් උපස්ථාන කරන නිසා ඔවුන්ට පෙරළා උපකාරයක් ලෙස ධර්ම දානය කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ වදාළා මුල, මැද, අග පිරිසිදු වූ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු පැහැදිලි කරුණුවලින් යුතු ඒ ධර්මය මේ ලෝකයාට දේශනා කරන්න . මේ ධර්මය අවබෝධ කරන පිරිස ඉන්නවා කියලා. එයින් අපට පේනවා ධර්ම දානය කෙතරම් වටිනාකමක් තිබෙනවාද කියලා.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා “ ආනන්ද ඔබ යම්කිසි කෙනකුට කරුණාවන්ත දයාවන්ත නම් අනුකම්පා කරනවා නම් ඔබේ වචනය ඒ අය අහනවා කියලා. එවිට ඒ කෙනාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පහදවන්න කියලා. එය තමයි ඔවුන්ට කරන්න පුලුවන් යහපත්ම දේ. එයින් අපට පැහැදිලියි ධර්ම දානය පිණිස තමයි නිතර රහතන් වහන්සේලා වෙහෙසුනේ. පළමු ධර්ම සංගායනාව , දෙවැනි ධර්ම සංගායනාව , තුන්වැනි ධර්ම සංගායනාව මගින් කළේ ධර්මය විකෘති නොවී නිර්මල ලෙස ආරක්‍ෂා කිරීමයි.

ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල පිරිසිදු ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන වැඩියේ. එය තමයි ලංකාවෙ සංගායනා කරල ආරක්ෂා කළේ. ඉතින් එලෙස ලැබුණ ඒ නිර්මල ධර්මය වර්තමානයේදී කෙනකුට දානය කරන්න පුළුවන්නම් එය උතුම් වූ දානයයි. වර්තමානයේ අපට පේනවා නොයෙක් ආකාරයෙන් ධර්මය දානය කරන අවස්ථා. දහම් සංයුක්ත තැටියක් නැත්නම් කැසට් පටියක් විකාශය කරලා සියලුම දෙනාට අහන්න සලස්වනවා. සමහර පිරිස් ධර්ම දානය සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා අනෙක් අයට ධර්මය අසන්න උනන්දු කරවනවා. ඒ සියලුම දේවල් ධර්මයට කරන උපකාරයක්. ඒ වගේම දහම් පොතක් මිලට අරගෙන ඒ දහම් පොත නොමිලේ අනෙක් අය උදෙසා බෙදා දෙනවා.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල තිබෙන යම් යම් කොටස් අරගෙන ඒවා මුද්‍රණය කරලා නැවත බෙදා හරිනවා. ඒ සියලුම දේවල් අග්‍රම දානය වන ධර්ම දානයට අයිතියි. මේ සියලුම ආකාරයට ධර්ම දානය කළ හැකියි. නමුත් මේ සියලුම දේ මගින් ඔබ කළ යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමයි. ඔබ අධර්මය ප්‍රචාරය කළොත් එයින් සිදුවන්නේ පිනක් නොවේ. එනිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේම ධර්මය ප්‍රචාරය කරන්න ඔබ උනන්දු විය යුතුයි.අපට පේනවා හුදෙක් ජනපි‍්‍රයත්වය උදෙසා අපහාසය මිනිසුන්ට දෙනවා. විකට දේශනා දන් දෙනවා.

ලෝකයම හිනස්සවන කරුණු කියන එක ධර්ම දානය නොවේ. ඔබ එය හොඳින් තේරුම් ගත යුතුයි. අනුන්ට ගරහන එක, ඕපාදූප කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති නැහැ. උන්වහන්සේගේ පිරිසිදු දහම තුළ තිබෙන්නේ දුක් විඳින සත්ත්වයා ඒ දුකෙන් එතෙර කරවන වැඩ පිළිවෙළක්. ඒ තුළින් තමයි මිනිසුන්ගේ වසා තිබෙන ප්‍රඥාව අවදි වන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ. එයින් ඔවුන්ට බොහෝ යහපතක් සිදුවෙනවා. මිථ්‍යා වාචා දන්නෙත් නැතිව සම්මා වාචා දන්නෙත් නැතුව ඔබ වියදම් කර කර මිථ්‍යා වාචා දන් දෙනවානම් ඒක කුසලයක් නොවේ අකුසලයක් මයි. එනිසා මේනිසා කුසලයක් වෙත්නම් සම්මාවාචා දන්දෙන්න ඕන.

උත්තර කියන මහරහතන් වහන්සේ සක් දෙවිඳුන්ට එක්තරා අවස්ථාවක දේශනා කරනවා අපට මේ ලෝකයෙන් පැනයන්න බැරි කරුණු ගැන. එහිදී සඳහන් වෙනවා අපට කවදාවත් මරණයෙන් පැන යන්න බැහැ. වයසට යාමෙන් පැනයන්න බැහැ. රෝග පීඩාදියෙන් , අනිත්‍ය බවට පත්වීමෙන්, කර්ම විපාකයෙන්, පැනයන්න බැහැ කියනවා. එවිට සක්දෙවිඳුන් උත්තර මහරහතන් වහන්සේගෙන් අසනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ කරුණු දේශනා කළේ ඔබ වහන්සේම සොයාගෙන ද? නැත්නම් මේවා වෙන කාගෙවත්ද කියලා. එතකොට රහතන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද . ඒ සියල්ලම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ කියලා. එය උපමාවකින් කියනවා යම් තැනක ධාන්‍ය ගොඩක් තිබෙනවා. එක එක්කෙනා ඒ ධාන්‍ය ගොඩෙන් ධාන්‍ය ලබාගන්න තම තමාට සරිලන භාජන අරගෙන එනවා. ඇවිත් භාජන පුරවාගෙන යනවා. එය දකින සමහර අය අහනවා. ඔබ කොහෙන්ද මේ ධාන්‍ය අරගෙන එන්නේ කියලා. අර අතන ධාන්‍ය ගොඩක් තිබෙනවා. ඒ ධාන්‍ය ගොඩෙනුයි මම මේවා අරගෙන එන්නේ කියලා කියනවා. ඒ වගේ අපිත් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උපයෝගී කොටගෙන තමයි මේ කථාකරන්නේ කියලා.එහෙයින් අපට පැහැදිලියි ඒ බුද්ධ දේශනා තමයි අපට උපුටා දක්වමින් කතාකරන්න තියෙන්නේ.

ඉතින් මෑත භාගයේදී අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උපුටා ගනිමින් “ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි “ කියන හඬ ඉස්මතු කරන්න ලොකු වෙහෙසක් දැරුවා . ඒ වගේම ගෞතම බුදු සසුන කියන්නේ වඳ බැහැපු පිළිසරණක් රහිත එකක් නොවේ. ඒ ශාසනය තුළ විශාල රැකවරණයක් පිළිසරණක් තිබෙනවා. මෙලොව ජීවිත සුවපත් වන්නේත් පරලොව ජීවිත සුගතිය කරා යන්නේත් මේ ශාසනය තුළ හික්මෙන පුද්ගලයා පමණයි. ගෞතම ශාසනය තුළ ආර්ය සත්‍ය හතරක් තිබෙනවා. මිනිසාගේ සැඟවුණූ ප්‍රඥාව වැඩෙන්නේ ඒ ආර්ය සත්‍ය හතර තුළින්. එනිසා ඒ ආර්ය සත්‍ය නිතර නිතර මිනිසුන්ට කියා දිය යුතුයි. ඔවුන් ඒ කෙරෙහි සමාදන් කළ යුතුයි. ඒ සඳහා තමයි අපට ධර්ම දානය තිබෙන්නේ.

අද ලෝකයේ මාධ්‍ය බොහෝ ව්‍යාප්තයි. ක්ෂණයකින් එක කරුණක් මුළු ලෝකයාටම දිය හැකියි. ඒනිසා ඔබට ඒ නිර්මල ධර්ම දානය දෙන්න ඉතාමත් ලෙහෙසියි. ඔබ යම් ධර්ම දානයක් දෙනවානම් එය හැම දෙනාගේම හිතසුව පිණිස පවතිනවා. එයින් යම් කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගතහොත් එය විශාල පිනක්. එය විශාල වාසියක් ද වෙනවා. නමුත් ඒ සඳහා ධර්ම දානය දෙන පුද්ගලයා මනා ලෙස ඒ නිර්මල දහම කෙරෙහි ගෞරවයක් ඇතිව විශාල පැහැදීමකට පැමිණිය යුතුයි. එහෙම නැතිව ධර්ම දානය ලෙස අධර්මය දන්දෙන අවස්ථා අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම තර්කානුකූලව තිබෙන අවුල් සහගත ප්‍රකාශත් බුද්ධ වචනයෙන් බැහැර වූ දේත් ධර්ම දානය හැටියට දෙන අවස්ථා තිබෙනවා. ඒවාටත් බොහෝ දෙනෙක් රැවටෙනවා. තමාගේ අදහසට ගැලපුන පමණින්, තමන්ගේ මතයට ගැලපුන පමණින්, තමන් කැමැති පුද්ගලයා කියු පමණින්, ඊට එකඟවෙලා දානය ලෙස දුන්නා කියලා. එය ධර්ම දානයක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම ධර්ම දානය සඳහා දීමට ඔබ උත්සහ ගත යුතුයි. එනිසා ඔබ ඔබට හැකි අයුරින් ධර්ම දානය කරන්න ලෝභ, ද්වේෂ, මෝහය ප්‍රහාණය කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයම දන් දෙන්න. ඒ සදහා අද ඔබට ඕනෑතරම් පහසුකම් ක්‍රම විධි තිබෙනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම ප්‍රචාරය කිරීමට අන් අයගේ සුබ සිද්ධිය පිණිස, ඒ අය කෙරෙහි කරුණා සිතින් යුක්තව ධර්ම දානය කරන්න.

එවිට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන් පරිදි දාන අතර අග්‍ර දානය දුන් පිරිස අතරට ඔබත් පත්වේවි. ඒ සියල්ල ඔබට නිතර නිතර මෙනෙහි කර සතුටු විය හැකියි. එය ඔබගේ මරණාසන්න මොහොතේදී ද සතුටු විය හැකි කාරණයක් වනවා නො අනුමානයි.

සටහන - නයනා නිල්මිණි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/09/01/tmp.asp?ID=fea04

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails