Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මේ සිර මැදුරෙන් පැනයන්නට ඇත්නම්...

Monday, July 19, 2010 , at 1:42 PM


ධර්ම මාර්ගය දියුණු කරන්න ලේසි ද? අමාරු ද? ලේසියෙන් දියුණු කරන්නත් බෑ. දියුණු කරන්න දෙන්නෙත් නෑ. බුද්ධ ශාසනය ඉදිරිපත් කරන්න කියල ඉදිරිපත් වෙච්ච සියලු දෙනා ම නැතිවුණා. මම උදාහරණයක් කියන්නම් ඔබට මේක තේරෙන්න.


දැන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවනේ කෙලෙස් වලට බන්ධනය කියන වචනය. උන්වහන්සේ පංච නීවරණවලට පාවිච්චි කරනවා බන්ධනාගාරය කියල. ඒ කියන්නෙ හිරගෙයක් කියල. දැන් ඔබ හිතන්න මෙහෙම. හිරගෙයක් තියනවා. හිරගෙදර ඉන්න අයට හරි ම දුක්, කරදර, පීඩා, බය, සංතාප, තැවුල්. හැබැයි මේකෙන් යන්න බෑ. කැමැත්තෙන් ගේට්ටු ඇරලා ''දැන් උඹේ කාලය ඉවරයි. එලියට පලයන්'' කියල යන්න බෑ. ඒක ඇතුළෙ තමයි මැරි මැරී ඉපද ඉපද ඉන්න තියෙන්නෙ. හැබැයි මේකෙන් පැනගත්තොත් නිදහස්. බය, සෝක නෑ.


උදාර පුරුෂයෝ ඉන්නව නුවණ පාවිච්චි කරලා, මේකෙන් පනිනවා. පැනල මැප් එකක් එවනවා. මෙන්න පනින සැලැස්ම කියලා. දැන් ඔන්න මැප් එක ආවා හිර ගේ ඇතුළට. දැන් මොකද කරන්නෙ? දැන් මේක එයා පාවිච්චි කරන්නෙ කෑ ගගහ ද? ''ඔන්න මැප් එක අහුවුනා...'' කියල ද? කොහොමද එයා ඒක පාවිච්චි කරන්නෙ? හරි ම කල්පනාවෙන්.


පනින්න ද හදන්නෙ ?


දැන් එයාට හිරගෙදරින් පැනල යන්න ඕනෙ නම්, නිකම් පැනල යන්න බෑනෙ. ඉන්නවනෙ හැම තැන ම පිරිස දාල එයාව හිරකරන්න. එත් යන්න ඕනෙ. කොහොමද යන්නෙ? කාටවත් තේරෙන්නෙ නැතිවෙන්න. දැන් ඔන්න එයා මැප් එකට අනුව පාර හොයාගෙන යනවා. අරගොල්ලන්ට ඉව වැටෙනවා.''කොහෙද කොහෙද යන්නෙ?''…. ''මම මේ පනින්න යනවා'' එතකොට ඒ පැත්තට යන්න තියෙන මාර්ගය ඒ පිරිස අහුරනව ද? නැද්ද? ඊට පස්සෙ එයාට ඒ ටිකත් නෑ.


නුවණ තියෙන කෙනෙක් ඉන්නව. ඒ පැත්තෙන් යනව. ''කොහෙද යන්නෙ?'' '' නෑ... මම මේ නිකං බලාගෙන ඇවිදිනව'' නමුත් එයාගෙ හිතේ තියෙන්නෙ මොකක් ද? ඒ වගේ තමයි, මග-ඵල ලබන්න ඕනෙ කියල කෑ ගගහ ඉන්න අය ඔක්කොම වැටෙනවා. යන්න බැහැ. යන්න දෙන්නෙ නෑ. කවුද දෙන්නෙ නැත්තෙ? නො පෙනෙන ලෝකය. යන්නත් බෑ. යන්න දෙන්නෙත් නෑ. ඕක තමයි ඇත්ත. ඒ නිසා කටින් කිය කිය ධර්මය දියුණු කරන්න බෑ.


බොරු කයිවරු ගහල වැඩක් නැහැ...


ඇයි මේක මේ අපේ ඉස්සරහට එන්නෙ? ''ඔන්න බලන්නකො මම යන තාලෙ. ඔය කවුරු කොහොම කිව්වත් මම යනව නිවන කරා. මාව නවත්වන්න කාටවත් බෑ'' එහෙම කියන අය නැද්ද? ඇයි අපි ඒ වගේ ඉමෝෂනලි කථා කරන්නෙ. අපි තුළ තියෙන ප්‍රතිරූපය නිසා. බලන්න අපි කොච්චර හිතන්න ඕනෙ පැත්තක් ද කියල. ලේසි නැහැ.
එහෙම වෙන්න හේතුව මොකක් ද? මෙච්චර අවංක ධර්මයක් තියෙද්දි මොකද එහෙම වුනේ? හේතුව මේකයි. මේ ධර්මයට පුළුවන් මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්න. එතකොට මේ ධර්මය තුළ මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන කොට, සියලු ලෝක අභිබවා යනවා. කවුරුත් කැමති නෑ. ඇයි ඒගොල්ලො ඉන්නෙත් ප්‍රතිරූප වල. තම තමන් මවාගත්තු ප්‍රතිරූපවල ඉන්නෙ නො පෙනන ලෝකෙත්. මනුෂ්‍යත්වය තුල මේක දියුණු වෙන කොට සියලු ලෝක අභිබවා යනවා. ඒකට ඉරිසිය යි.




අපිත් ටික ටික කරගෙන යනවා....


ඉතින් නුවණ තියෙන, කයිවාරු ගහන්නෙ නැති අය අහන කොට ''අනේ ඉතින් අපිත් කැමතියි මේ ධර්මයට. කරගෙන යනවා. හරියයි ද දන්නෙත් නෑ. වරදියි ද දන්නෙත් නෑ. පින තියනවද දන්නෙත් නෑ.'' එහෙම කිය කිය ඉන්න එක්කෙනා යන්තම් ඕක දියුණු කරනවා. යනව නේද කයිවාරු ගහගෙන විඳවයි කෙළවරක් නැතිව. ඔන්න ඇත්ත.


මම මේ ජිවිතයේ හොඳ දේවල් ඉගෙන ගත්තා. එතකොට බාහිර ලෝකෙන් මාර්ග ඵල ලාභී අය නැද්ද මේකට උදව් කරන්නෙ? මේ ලෝකය තුළ දැන් තියෙන්නෙ දිව්‍ය බලය නෙවෙයි. අසුර බලය. සම්පුර්ණයෙන් ම මේ ලෝකය අල්ලල තියෙන්නෙ. මම කියන එක කොහොම තේරුම් ගනී ද දන්නෙ නැහැ. එත් මේක තමයි ඇත්ත.


ඉතින් ඒ නිසා ඔබට කරන්න තියෙන්නෙ හිත පහදවා ගන්න එක. නැත්නම්, සාමාන්‍යයෙන් කල්පනා කළොත් ලෝකෙ බැනුම් ඇසිය යුතු අය පැත්තක. බැනුම් නො ඇසිය යුතු මම තමයි බැනුම් අහන්නෙ. බැනුම් ඇසිය යුතු අය වැජඹෙනවා. ඒක එන්නෙ අරකෙන්. මේක හරිම රසවත්.


අස්වැන්න ගන්න නම් වැටක් බඳින්න ම වෙනවා...


ඒ නිසා ප්‍රතිරූප සිඳබිඳ ගෙන අවබෝධය කරා යනව කියන එක නුවණ, වීරිය, නිහතමානීකම, නුවණ පාවිච්චි කරන පිළිවෙල මේ ඔක්කෝමත් එක්ක තියෙන කුසලතාවයක්. මේක තිබුනොත් වාසනාව.


අපි කියමු මේ ලෝකය කියන්නේ කුඹුරක්. මේ කුඹුරේ දක්‍ෂ කෙනෙක් එනවා වගා කරන්න. ඇවිල්ල මේ කුඹුරට වැටක් බඳිනවා. වගා කරන්න කලින් සත්තුන් ගෙන් හානිවෙනවට වැටක් බඳිනවා. වැටක් බැඳලා වගාකරනවා. වැට දැම්මත් වැටෙන් රිංගල හරි එකෙක් දෙන්නෙක් එයි. නමුත්, ලොකු හානියක් නෑ. අස්වැන්න ගන්න බැරි ද? පුළුවන්.


එයා කියනව කාලයක් ගියා ම ''මම මේ ගහපු වැට අවුරුදු සීයක් පවතින්නයි වැට ගැහුවෙ. ඔය අවුරුදු සීයය ඇතුළට ඕනෙ ම කෙනෙකුට ඇවිල්ල වගාකරගෙන අස්වැන්න ගන්න පුළුවන්.'' අවුරුදු සීයෙන් පස්සේ අර වැටට මොකද වෙන්නෙ? වැට කැඩිල යනවා. ඊට පස්සේ කුඹුර තියනවා. බීජ තියනවා. නමුත් වගා කරගන්න බෑ. සත්තු එනවා හරියට…. පදිංචි වෙලා වටේට. බුද්ධ ශාසනය එහෙම එකක්.

උපුටා ගැනීම: ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම​
කර්තෘ: අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails