Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ධර්මප්‍රචාරයට මුවා වී අන්තර්ජාලයට ඇබ්බැහි වීම..!

Wednesday, July 7, 2010 , at 1:15 AM



දයාබර යාලුවනේ...


ධර්මය කියන්නේ ඉතා ම සුන්දර දෙයක්. හුදෙකලාව ම දහම් මග වඩන මිනිසුන් ගේ හදව‍ත්, ඒ සොඳුරු දහම තුළින් සදාකාලික ව ම සුන්දර වෙනවා. නමුත් ජීවිතය ධර්මයෙන් සුන්දර කරගන්නවා කියන එක, ඉතා ම සියුම් නුවණක් ඇති, ලෝකය විනිවිද දකින්නට පුලුවන් උත්තමයින් විසින් ම සිදු කරන දෙයක්. විවිධ වෙස් අරගෙන අපිව රවටන‍ මේ සිතේ වංචනික ස්වභාවයන්, සංසිදී ගිය සිතකින් සහ සියුම් ප්‍රඥාවකින් ‍මිසක් වෙන විදියකින් තේරුම් ගන්න බැහැ.


අවිද්‍යාවෙන් වැසුණු, තණ්හා ලාටුවෙන් ඇලුණු ලෝක සත්වයාට දුක කියන්නේ මහා බියක්. අවිද්‍යා කඩතුරාව ඉරා දමල, තණ්හා ලාටුව වියලවා දමල, ලෝකයේ යථාර්ථය විවර කරගන්ට අපිට නො හැකිවන්නේ, ප්‍රමාදය ත් මසුරුකම ත් අපේ සිත් තුළ මුල් බැස ගෙන තිබෙන නිස යි. ප්‍රමාදය දුරු කරල, මසුරුකම බැහැර කරල, අවිද්‍යාව ත් තණ්හාව ත් වනසපු උත්තමයන්ට දුක කියන්නේ බියක් නො වෙයි. දුක කියන්නේ ඒ උත්තමයන් විසින් අවබෝධ කළ දෙයක් පමණ යි.


අප්‍රමාදී අය දැකීම පවා ඉතා ම දුර්ලභ යි..


ඒ උත්තරීතර තත්වයට අ‍පිට ත් පත්වෙන්න වාසනාව තිබෙනවා. නැතුවා නො වෙයි. නමුත් ඒ වාසනාව දිනෙන් දින ම අපෙන් ඈත් වෙලා යන්නේ, එක හේතුවක් නිස යි. ඒ තමයි ප්‍රමාදය. ප්‍රමාදය විසින් හැම යහපතක් ම වනසා දමනවා. නිවන් දකින්ට පින ඇතුව උපදින සමහර අය ගෙ ජීවිත, අපායේ උපදින තත්වයට පත්කිරීමෙන් කෙළවර කරන්ට පවා මේ ප්‍රමාදයට පුලුවන්. මාරයා විසින් සත්වයා ව සස‍රට ඇද දමන්නේ මේ ප්‍රමාදය තුළිනු යි. මාරයා කියන්නේ "ප්‍රමාදී උදවි‍ය ගේ ඤාතියා" කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ නිසයි.


ඉතින් යාලුවනේ, මේ වර්තමාන යුගය කියන්නේ, අපි ව හැම පැත්තෙන් ම ප්‍රමාදයට ඇදල දමන්ට, අපමණ දේවල් බිහිවෙලා තිබෙන යුගයක්. මේ යුගයේ නම් අප්‍රමාදී අය දැකීම පවා ඉතා ම දුර්ලභ යි. නිවන් දකින්න ඕන කියන අදහසේ ඉන්න අය පවා, හරීම පුදුම විදියට ප්‍රමාදය විසින් ම ගිලගෙන තිබෙනවා. ඒ ගිල ගැනීම කෙතරම් සියුම් ද කියන්නේ, ඒ දේ තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කර යි. තේරුම් ගැනීමට ඇති දුෂ්කරබව නිසා ම, සමහර උදවිය තමන් ප්‍රමාදයට හසුව ඇති බව පිළිගැනීමට පවා මැලි වෙනවා.


මම පුංචි කාරණයක් කියන්නම්..


බලන්න මේ අන්තර්ජාලය දිහා. ඒ ගැන ඔබට අමුතුවෙන් පහදා දෙන්ට අවශ්‍යවෙන එකක් නැහැ. මිනිසුන් ව වනසන්නට වගේ ම මිනිසුන් ගේ යහපතට ත් අන්තර්ජාලයෙන් ගොඩක් දේවල් සිදු වෙනවා.


නිවන් දකින්න ඕන කියල හිතන බොහෝ පිරිසකුත් අන්තර්ජාලය පරිහරණය කරනවා. ඒ අය ගේ අදහස අන්තර්ජාලය හරහා ධර්මය ඇසීම සහ අන්අයට ධර්මය ලබා දීම වගේ දේවල් වෙන්ට පුලුවනි. නමුත් විශේෂයෙන් ම අන් අයට ධර්මය ලබා දෙන්න කියල හිතාගෙන, අන්තර්ජාලගත වෙලා වටිනා කාලය එහෙම පිටින් ම අපතේ දා ගන්න අය අපිට ඕන තරම් දකින්ට ලැබෙනවා.


ඔබේ සිත ඔබට ම කරන වංචාව...


විශේෂයෙන් ම facebook වගේ තැන්වලට ඇවිත්, තමන් ගේ මිතුරන් සමග කථා බහ කරමින්, අන් අයගේ ‍කමෙන්ට්ස් කියවමින්, රිප්ලයි කරමින්, කැමැත්ත පළකරමින් (like), පැය ගණන් ගත කරන අය අපිට දකින්ට ලැබෙනවා. තවත් සමහර අය internet එන්නේ, එහෙම නැත්නම් කම්පියුටරය ඔන් කර ගන්නෙ ධර්මය අසන්නට කියල හිතාගෙන යි. නමුත් ඊ ළගට ඒ අය කරන්නේ ධර්මය අහන ගමන් කම්පියුටරයේ වෙන වෙන වැඩ කරන එක යි. එක්කෝ චැට් කරනවා. එක්කෝ, වෙන වෙන දේ සොයා බලමින් සිටිනවා. දන්නෙම නැතිව බණ ඉවර වෙනවා. ධර්මයේ සාරය ලබා ගන්ට තිබ්බ අවස්ථාව නොදැනීම අහිමි වෙලා යනවා.


ඒ වගේ ම කිසියම් දහම් කරුණක් facebook එකේ දාල, අනිත් අය කමෙන්ට් කරනකම් හෝ කැමැත්ත පළකරනකම් ආ‍ශාවෙන්, කුතුහලයෙන් බලාගෙන ඉන්න අයත් ඕන තරම් ඇති. වරින් වර face book ලොග් වෙලා, "දැන් මම දාපු එක කියවල ඇති, දැන් රිප්ලයි කරල ඇති", කියල අපේක්ෂාවෙන් ඉන්න අයත් ඉන්ට පුලුවනි. හොදට හිතල බලන්න, facebook එකට ලොග් නො වී ඉන්ට බැරි ගතියක් ඔබට තිබෙනවා ද..?


බලන්න දයාබර යාලුවනේ, මේ හිත අහුවෙලා ගිහින් තියෙන්නේ මොනතරම් ලාමක දේවල් වලට ද කියල. ධර්මප්‍රචාරය කරන මුවාවෙන්, ඔ‍බේ සිත ඔබට ම කරන මේ වංචාව හොඳින් හදුනාගන්න.


මොකද facebook වගේ තැනක් කියන්නේ ධර්ම සාගරයක් නෙ‍වෙයි. ධර්මය ලබා ගන්ට වෙනත් ක්‍රම බොහොමයක් තියෙනවා. වහ වහා සසර දුකින් නිදහස් වෙන්නට අවශ්‍යතාවයක් නැති, සසරේ ම යන්න කැමති අයට නම් මේවා ගැටලු නොවෙන්නට පුලුවනි. නමුත් සංසාරෙන් නිදහස් වෙන්ට කැමති අයට, පුංචි බැදීමක් පවා මහා විශාල බාධාවක්. තව දෙයක්, ඔබ කරන දහම් ප්‍රචාරය නවත්වා දමන්නට කියා මෙයින් අදහස් වෙන්නේ නැහැ. නමුත් එයට මුවාවී, අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න එපා !!!


ප්‍රමාදී අය සසුන රකින්නේ නෑ...


ඒ නිසා දයාබර යාලුවනේ, අන්තර්ජාලයේ සැරිසරමින් අනවශ්‍ය ලෙස කාලය කා දමන එක නවත්වා දමන්න. ඒ තුළින් සමහර විට විශාල කාලයක් ඔබට ඉතුරු කරගන්ට පුලුවන් වේවි. ඒ වටිනා කාලය, සතිපට්ඨානය වැඩීමට ම යොදා ගන්න. මොකද හැම මොහොතක ම ගෙවිල යන්නේ අපිට ජීවත් වෙන්ට තිබෙන කාලය යි. ඒ කාලය හිස් දේවල් වෙනුවෙන් අපතේ දා ගන්න එපා.


විශේෂයෙන් ම තව දෙයක් මතක තියාගන්න යාලුවනේ... ප්‍රමාදී කිසි කෙනෙක් සසුන රකින්‍‍නේ නැහැ. ප්‍රමාදී අය ඉන්නේ ප්‍රමාදී අය ගේ ඤාතියා වන මාරයා ගේ වසගයේ යි. ඉතින් මාර වස‍ගයේ ඉන්න අයට සසුන රකින්න බැහැ නේ ද..? නමුත් යම් කිසි කෙනෙක්, හැම මොහොතක ම ප්‍රමාදය දුරු කරමින්, දහම් මගේ හැසිරෙනවා නම්, අන්න එයා බුදු සසුන රකිනවා. එයා තුළ සම්බුදු සසුන රැකෙනවා.


එම නිසා ධර්මප්‍රචාරය කරනවා ය කියා අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්ට එපා. ඔබේ වටිනා කාලය උත්තරීතර හුදෙකලාව තුළ, පරම සුවය සොයා යෑම පිණිස යොදා ගන්න. එතකොට ඒ හුදෙකලාව තුළ, දහමේ සුන්දරත්වය විදින්න ඔබට වාසනාව උදාවේවි. එය ‍එසේ ම වේවා..!


සදා සැනසිල්ල වේවා.!!


තෙරුවන් සරණ යි !!!

Bookmark and Share

Currently have 3 comments:

  1. Anonymous says:

    agreed........100% theruwan saranayi. apita sihi upaddala dunnata

  1. සුන්දර ඔවදන් පෙලක්..
    බොහෝම පින් අපට සිහිය උපද්දල දුන්නට..
    "වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර"
    තෙරුවන් සරණයි...!

  1. Unknown says:

    OW athta tamai.අන්තර්ජාලයේ සැරිසරමින් අනවශ්‍ය ලෙස කාලය කා දමන එක නවත්වා දමන්න.Mona deyak kalath sathiya pihitawagena karanna puluwannam hari.mee satahane saranshaya kisima deyakata elenna epa kiyana ekai.godak pin.ee wagema kalana mitura asura mata wasanawan..

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails