Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'සසුන වනසන මරු සෙවනැලි සමඟින් දේවදත්තලාගේ පුනරාගමනය'

Friday, July 2, 2010 , at 11:26 AM



ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නො දිටි මොක් පුර…


පවිටු දෙව්දත් පරපුර ගෞතම බුදු සසුනට ආගන්තුකයින් නොවේ. බුදුරජාණන් වහන්සේ යනු කවුරුන් ද, බුදු දහම යනු කුමක් ද, බුදු සසුන යනු කුමක් ද යන්න මොවුන්ගේ ලාමක ප්‍රඥාවට න-ගෝචරය. යකඩයක උපදින මළ සහ බුදු සසුනක උපදින මොවුන් අතර ඇති වෙනස නොගිණිය හැකි තරම්‍ වේ. සත් වස් වියැති රාහුල, අධිමුත්ත, සෝපාකලා අමා නිවනින් සැනසෙද්දී දෙව්දත්, කෝකාලික, සුනක්ඛත්තලා මියෙන මොහොත තෙක්ම නිරයගාමී අකුසල් රැස් කරමින් බුදු සසුනට එරෙහිව තිදොර මෙහෙයවූහ. ඒ තෙවැදෑරුම් ප්‍රාතිහාර්‍යයන් සහිතව බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය තුන්ලොව සිසාරා ප්‍රවර්ථනය කරමින් හුන් ගෞතම බුදු සසුනේ ස්වර්ණමය යුගය විය. ඒ දෙදහස් පන්සිය අනූනව වස් පුනරාවලෝකනය සමඟින්, උදාහිරු අවරෙහි සැඟව ගොස් ගෙවී යන දිනක් පසුකොට, අප මේ යාත්‍රා කරනුයේ ගෞතම බුද්ධ රාජ්‍යයේ හෙට දවස කරා ය.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් මේ දුගතිගාමී පරපුර අතිශය බලවත් වන්නට විය. කෙතරම් බලසම්පන්න වී ද යත් බුදුවරුන්ගේ දේශයෙන් බුදු සසුන අතුගා දමන්නටත්, බුදු වරුන්ගේ දහම් මාත්‍රයක් හෝ ඉතිරිකොට නොතබන්නටත් මේ යක්‍ෂයින් වගබලා ගත්හ. බුදුවරුන්ගේ දේශයෙන් වංශයේ උරුමයන් රැගෙන ශාක්‍යයන්ගේ හෙළ දේශය බලා ගෞතම බුදු සසුන සමුදුරු තරණයට නැව් නඟින්නේ මේ අතරතුරදී ය. සිහළ දේශය ගෞතම බුදු සසුනට පිදුම් වෙද්දී, හෙළ දෙරණ පුරා සදහම් සුවඳ විහිද පැතිරී යද්දී සදහම් යාත්‍රාව ලුහුබැඳ ආ දේවදත්තගේ මුණු මිණිබිරියෝ දහම් දිවයිනට රහසේ ගොඩබටහ. ඒ මොවුන්ගේ අධම න්‍යාය පත්‍රයේ පශ්චාත් භාගය සපුරා ගනිමින් ළාමක මනදොළ සංසිඳුවා ගැනීම උදෙසාම ය.

එවකට ජාතියේ පැන් පොකුණ බඳු වූ අනුරාධපුර මහමෙව්නා මහා විහාරයට එරෙහිව මේ වසලයන් යාබද අභයගිරියේ කඳවුරු බඳින්නේ මේ දුෂ්ඨ චේතනා සමුදාය පෙරදැරිවය. මොවුන්ගේ පවිටු චේතනාවන් මුදුන්පත් වන්නේ ජාතියට සදහම් වැසි වැස්සවූ සුන්දර මහා විහාර භූමිය මුළුමනින්ම සමතලා කොට උඳු වැපිරීමෙන් අනතුරුවය. ලාංකීය සඟ පරපුරේ නිකාය භේදයේ ඇරඹුමද මේ සමඟම සනිටුහන් වන්නේය. එදා එසේ ඇරඹි ඒ අධර්මවාදී කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙල මේ දක්වාම අඩු වැඩි වශයෙන් ලාංකීය බොදු සමාජය තුළ අපට දක්නට ලැබේ. මේ බුදු සසුන වනසන්නේ සසුන තුළින්ම හට ගන්නා, බෞද්ධ යැයි කියාගන්නා ගිහි-පැවිදි පිළිලයන් විසින්ම බව භාග්‍යවතුන් වහන්සේ වරෙක වදාරණ ලදී. එය එසේම විනා අනෙකක් නම් නොවේ. එය අපගේ දෑස පනාපිට ඒ අයුරින්ම සිද්ධ වන්නේය.

දේවදත්ත පරපුර ද කාලයාගේ ඇවෑමෙන් මොඩ් වී ඇත. අවාසනාවට එය ඍණාත්මකය. කොහොඹ ඇටයෙන් කවදානම් මිහිරි ඵලයක් ලබන්න ද? පිරිසිදු බුදු වදන් බොදු ජන සමාජය අතරට යාම මොවුනට ඉවසුම් නොහේ. බුදු දහමේ නාමයෙන් පැතිරෙන සම්ඵප්‍රලාපයන් වෙනුවෙන් හුරේ දමනා මොවුන් හට චතුරාර්‍ය සත්‍යය යනු නයාට අඳුකොළ වැනිය. පරම ගම්භීර වූ බුදු දහමේ මූලික හරය වන දුකින් මිදීමට එරෙහිව මේ සාතන්ගේ පුත්තු ලිප්ටන් වටරවුමේ පිකට් කිරීමට ද සූදානම් ය. බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද අනිත්‍ය හෝ අසුභ භාවනාවන් මොවුන්ගේ තියරියට අනුව ඍණාත්මක චින්තනය යි. සර්ව අසුභවාදය යි. මේවා කිරීමෙන් කිසිදා සැපයක් ලැබිය නොහැක. (සිහි කැඳවීමයි: අප මේ කතිකා කරනුයේ සුවහසක් වූ ලාංකීය (අ)බෞද්ධ ගිහි-පැවිදි ප්‍රජාව පිළිබඳවයි.)

මනුෂ්‍ය ගුණදම් මොවුන් කෙරෙන් ගිලිහී ගොස් ඇත්තේ නෙත් අදහනු බැරි විලසටය. ගෞතම බුදු සසුන වෙනුවෙන් සිදු කරන්නා වූ යමකුගේ අව්‍යාජ දායකත්වය මොවුනට සාදු කියා අනුමෝදන් විය නොහැක. ඒ දෙස බලනුයේ සැකයෙන්, කුහක කමින් පිරී ගත් සිතිනි. ලෝකෝත්තර සැප සොයා ගිහිගෙයින් නික්ම හුදෙක් අරහත් ධජයට මුවා වූවන්ගේ මේ පවිටු හැසිරීම ජාතිය අභිමුවේ පවතින ඛේදවාචකය මොනවාට කියාපාන්නකි. මොවුන් මේ එරෙහි වන්නේ පරම ලෝක සත්‍යයට බව මේ අසරණයිනට නොවැටහේ. මේ සියළු හීන වූ ව්‍යායාමයන් සසර දුකින් පීඩිත වූ ජනයාගේ විමුක්තියට එරෙහිව සිදුකෙරෙනා විරෝධතාවන්‍ පමණක්ම බව නොවැටහෙන මිනිසත් බව නොහඳුනන මේ අසත්පුරුෂ බාලයන් මෙවන් සත්‍ය වූ දහමක් කෙසේ නම් දිරවාගන්න ද? බල්ලා පිදුරු කන්නේ ද නැත​. කන ගොනාට දෙන්නේ ද නැත​. එය ඔවුන්ගේ මෙන්ම අන් අයගේ ද අවාසනාවය. 

වසර දහසක් පමණ පුරාවට මේ දම් දිවයිනේ සදහම් ඉඩෝරයක් පැවති බව අවදියෙන් හුන් දනහට නොරහසකි. ඉඳ හිට ඇද වට සිරිපොද වැස්සට ඉඩෝරයට එරෙහි වීමට තරම් ශක්තියක් නොවීය. කෙසේ නමුදු ඉඩෝරය නිමා කරමින් අමා දම් වැසි ඇද හැලෙනා යුගයක් මේ ධර්මද්වීපයේ උදා වී තිබේ. කාලයේ වැලිතලාවන්ගෙන් සැඟව ගත් සත්‍යයේ සුවඳ මල් දසතින් මෝදු වෙති. පොත් ගුල් තුළ හිරවී හුන් සද්ධර්ම පුස්ථකයෝ සැමට වැටහෙන සරළ බසින් කළඑලි බසිති. ලක්‍ෂ සංඛ්‍යාත පිනැතියෝ අවබෝධයෙන් යුතුව තිසරණ සරණ යති. අවබෝධයෙන් යුතුව පින් කරති. සසර කතරින් එතෙර වනු වස් දහමෙහි හැසිරෙති. සහසක් දුක් කම්-කටොළු, කරදර බාධා මැද දැවැන්ත මාරකයන් හමුවේ දිවි පරදුවෙන් මේ අකාලික දහම හෙට දවස වෙනුවෙන් සුරැකගත් අසහාය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා...!

ඉඩෝරයට හසු වූ අසරණයාගේ ලේ උරා බොමින් ජීවත් වූ කලියුගයේ දේවදත්තලාට මේ පිබිදීම ඉවසුම් නොදෙන්නට විය. භාෂාවක් යනු අදහස් හුවමාරු කරගැනීමේ පහසුව තකා කලින් කලට සිදුවන විවිධ වෙනස් වීම් ඔස්සේ ඉදිරියට ඇදෙන එක් සන්නිවේදන මාධ්‍යයක් පමණි. අද පරිගණකයක් ඉදිරියේ ලියුමක් ටයිප් කර ගැනීමට හිඳගන්නා දරුවාට 'මේන් ෆ්‍රේම්' පරිගණකය කෞතුක වස්තුවකි. බොහෝ විට ඔහු හෝ ඇය ඒ පිළිබඳව නොදන්නවා ද විය හැක. අවැසි නම් ඔහුට ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කළ හැකිය. නමුත් එය අනිවාර්‍ය නොවේ. ඒ යටගියව නොදත් හෙයින් ඔහුට ලිපිය ටයිප් කරගැනීම තහනම් ද නොවේ. මෙම සිම්පල් යතාර්ථය තමන් භාවිතා කරන භාෂාව හා ගලපා ගැනීමට ඇතැම් ත්‍රිපිටකාගීෂ්වරලාට, අභිධර්මාගීෂ්වරලාට මෙන්ම බුදුන් සරණ යාම පසෙක තබා මේ ත්‍රිපිටක/අභිධර්මාගීෂ්වරලා සරණ ගිය ගිහි-පැවිදි පිරිසටද නොහැකිවීම කණගාටුවට කරුණකි. මොවුන් මේ අභියෝගයට ලක් කරන්නේ බුදුරජාණන් වහන්සේ පවා අනුදැන වදාළ, ධර්මය තමාගේ බසින්, සරළ බසින් ඉගෙනීමට ඇති හැකියාවයි. මොවුන්ගේ තියරියට අනුව වියත් සිංහල බැරිනම් ධර්මය තහනම් ය. සරළ සිංහලයට හැරවූ විට එය ධර්මය නොවේ. විවෘත වූ විට පමණක්ම බබළන ධර්මය සඟවා තැබීමට මීටත් වඩා කූට, නින්දිත උපක්‍රම කොයින් ද? ධර්මය සරළ බසින් කළඑලි බැසීමේදී හානි වී ඇති, විකෘති වී ඇති එකදු ධර්ම කරුණක් ගෙනහැර දැක්වීමට මේ බක පණ්ඩිතලා අසමත් ය. සියළු දෙනා කෙරෙහි කරුණාවෙන් අපි ඔවුන් හමුවේ එක් අභියෝගයක් ගෙනහැර තබන්නෙමු. නිරුවත වසා ගැනීමටත් ත්‍රිපිටකයම භාවිතා කරන විලි ලැජ්ජා නැති හොරිකඩයිනි, හැකිනම් පිරිසිදු පාළි ත්‍රිපිටකය සරළ සිංහලට නැගීමේදී හානි වූ හෝ විකෘති වූ එක් ධර්ම කරුණක් ගෙනහැර දක්වනු මැනවි… තමා ගුරු තන්හි තබා කටයුතු කළ, සසරින් එතෙර වීමට උදව් දෙන මේ උතුම් ධර්මයද පහුරක් ලෙස භාවිත කොට අතහැර දමා යාමට මිසක, කර තබාගෙන යාමට නොවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එහෙව් එකේ මේ අනිත්‍ය ලෝකෙ භාෂාවක් ගැන කවර කතා ද?

ඵල ඇති රුකට නිරතුරු ගල් ගැසීමේ කලාව මේ දෙව්දත් පරපුර විසින් එදා සිට අද දක්වා මැනවින් සුරක්‍ෂිතව පරපුරෙන් පරපුරට උරුම කර දී ඇති අතර හෙට දවසේ ද මේ පරපුර මේ කලාවෙන්ම මනාව පෝෂණය වනු ඇත. කළින් සටහන් තැබූ මෙම පරපුරේ මුල් පුරුක් අදටත් අවිචියේ විඳවති. දිවිය පුරාවට රැස්කළ දෑ ඔවුහු රැගෙන ගියහ. ගෙවා දැමීමට ඇති කල්පයෙන් තවමත් ගෙවී ගොස් ඇත්තේ වසර 2600කට අඩු කාලයකි. අහෝ...!!!

අප සරණ ගියේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණාන් වහන්සේ නමකි. බෝ මැඩ මුල හිඳ සත්‍යයේ බලයෙන් දස මර සේනා පැරදවූ මහා වීරයෙකි. තම මඟ හරස් කළා වූත්, පාවඩ උඩු වියන් බැන්දා වූත් සැමට එක සේ මෙත් සිත් පෙරදැරිව මහකරුණා ගුණය පැතිරවූ, අසාරම්භ වූ තිලොවග මුනිඳෙකි. ඒ අසංඛෝභ වූ ශාස්තෘන්වහන්සේගේ ළය මඬලින් උපන් ශ්‍රාවක දරුවන් වන අප අධර්මවාදීන්ගේ මේ උඩුබිරුම් හමුවේ කුමට නම් සසැළෙන්න ද?

කර්මය දායාද කොටගත් සත්වයා යන තැනක එය රැගෙන යනු ඇත. එය ලෝ දහමයි. අප වටා නිරන්තරයෙන් සිදුවන මේ සිද්ධි දාමයන් ඔස්සේ ගැටෙමින් ගොස් රාග-ද්වේශ-මෝහ දියුණුව යන සේ තිදොර හැසිරවීම ආර්‍ය මඟ පිළිවෙත් පුරනා, දැහැමින් අවබෝධයෙන් තිසරණ සරණ ගිය කිසිවකුට තරම් නොවේ. පිය උරුමයෙන් බැහැරට වන් සිත මරු වසඟයට පිළිපන්නේ නිරායාසයෙනි. අප සසර පුරාවටම සිදුකළේ එයයි. සිත කෙළෙසාගෙන රෑ වැටුනු වලේ දවල් වැටෙන්නට කිසිදු ප්‍රඥාවන්තයෙක් කැමති නොවනු ඇත. මැනවින් හික්මවූ සිත් මඬලක විශ්මිත අසිරිය භාග්‍යවතුන් වහන්සේ අප වෙත ගෙනහැර දක්වන්නේ අප කෙරෙහි උපන් අපමණ අනුකම්පාවෙන්ම ය. සියළු සත හට පැතිරවිය හැකි මෙත් සිත අති ප්‍රබලය. මහානුභාව සම්පන්නය. මෙලොව-පරලොව සැප සලසන උත්තම ප්‍රතිපදාවකි. අකුසලයන් බැහැරකොට මෙත්-කරුණා-මුදිතා-උපේක්‍ෂා දී බඹ විහාරයෙන්‍ යුත් සිත් මඬලයන් මනු සුවඳ දසත විහිදුවනා සොඳුරු පියුමන් වැන්න. මේ හඬන-වැලපෙනා, බිඳෙන-සසැළෙනා ලෝකය තුළ සකළ සත වෙත මෙත් සිත් පෙරදැරිව වසනා සිත්මල් කෙතරම් සුන්දරද.... එවන් සිත්මල් යායක් මේ නොහිම් විශ්වය කෙතරම් සුවඳවත් කරනු ඇතිද..... 

ගෞතම බුද්ධ රාජ්‍යයේ තෙදැති අසිරිමත් ගුණ සුවඳ 
දැනේවා සියළු සතහට 
මහිමයෙන් අපමණ මෙත් සිතක...!

'අපි ශාක්‍යයෝ' 

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails