Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

නිසල විය ඒ තොටිල්ල පැදවූ අත......

Wednesday, May 19, 2010 , at 3:24 PM


පෙරුම් පුරා ලද සොඳුරු පුත් රුවන
උතුම් ගෞතම සසුන වෙනුවෙන්
දායාද දුන් සුප්පාවාසාය අම්මේ නුඹ.....

බුදුවරුන්ගේ ලොව පහළ වීම අති දුර්ලභය. පච්චේක බුදුවරුන් ලොව පහළ වීමත් ඉතා දුර්ලභය. රහතුන්ගේ ලොව පහළ වීමත් අති දුර්ලභය. උතුම් නිවන් මඟ වඩිමින් සකළ සත වෙත පතළ මහා කරුණාවෙන් සිල් ගුණදම් පුරමින් ඒ උතුම් නිවන් මඟ කියා දෙන උතුමන් වහන්සේලාගේ ලොව පහළ වීමත් අතිශය දුර්ලභය. එවන් පිනැති උත්තමයන් වහන්සේලාගේ මනුලොව ආගමනය මහා පුණ්‍ය ද්වාරයන්ගේ විවර වීමකි. එවැනි උත්තමයන් වහන්සේලාගේ පහළ වීම තුන් ලොවටම මහා ලාභයකි. එවන් මහා පුණ්‍ය ශක්තියක් කැටිවූ සොඳුරු අසිරිමත් මිනිසකු සදෙව් ලොවින් මනු ලොවට කැන්දා ගෙනෙනා මවක් කෙතරම් නම් වාසනාවන්ත ද..... කෙතරම් නම් පින්වන්ත ද.....

එදා දේව මන්දිරයේ අල්තාරය අභියස යාතිකා කරමින් පින්වත් පුත් රුවනක් පැතූ එවකට දේවබැති මව්පිය දෙපලට පිහිට පිළිසරණ වූයේ බුද්ධ බලය දරමින් වැඩහිඳිනා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ යි. ඒ පින්වත් පුත් කුමරා මෙලොව වැඩියේ සිය පවුලම උතුම් තිසරණය වෙත කැන්දාගෙන එමිනි. තොටිල්ලේ හිඳිමින්ම ඒ පෑවේ සැබෑම ආශ්චර්‍යයක් නොවේ ද?
නමුදු........ ඒ අසහාය තොටිල්ල පැදවූ හස්තය අද නිසලව ගොස් ඇත. සුමිහිරි නැලවිලි රාව නැඟූ මධුර ස්වරය නිහඬ වී ඇත. දැයක් පුබුදුවාලීමට පුරෝගාමී වූ සෙනෙහබර මාතාව යළි නොඑනා ගමනක් ගොස් ඇත.

තොටිල්ලේ හුන් කුමරා උතුම් ගෞතම සසුනට පිදිනි. ඒ අසිරි පෑ සොඳුරු පුත් කුමරා අද රජුන්ටත් රජෙකි. සිවිදිග සදහම් සුවඳ පතුරනා සුවඳැති පුෂ්පයන් පිරිවරාගත් මහා වෘක්‍ෂ රාජයෙකි. දස දෙසින් වැඳුම් ලබනා පුණ්‍යස්ථම්භයකි. අඳුරේ සැඟව හුන් දන හිරුගේ ලොව වෙත රැගෙන ආ දිසාපාමොක් ඔහුය. දුගතිය නම් වූ මහා සාගරය වෙත අලසව ගලාගිය සුවහසක් ගංඟාවන් උඩුගම් බලා හැරවූ යෝධ ශක්තිය ඔහුය. බුදුන් දෙසූ මඟ එලෙසින්ම දෙසමින් දැයක් කතරින් එතෙර කරවන සොඳුරු ගැල්කරුවාණන් ඔහුය. ඔහු නමින් කිරිබත්ගොඩ ඥාණානන්ද ය.

ඒ සොඳුරු මනුෂ්‍යරත්නය මෙළොවට ජනිත කොට ගෞතම බුදු සසුනට දායාද කරවූ සුපින්බර මෑණියන් පසුගිය දිනෙක අප අතරින් සදහටම සමුගෙන යන්නට ගියේ මවක් වශයෙන් ලොවට දිය හැකි ශ්‍රේෂ්ඨම දායාදය මනුකැළ වෙත තිළිණ කරමිනි. සසර කතරට වන් සකළ සැදැති දන හට ඇය දයාබර මවක් විය. තම සදාදර මවගේ මළගම වෙනුවෙන් සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනා බුදු පුතුන් ඔබ කොහේ හෝ දැක තිබේ ද....? අසා තිබේ ද....? දේහය තැන්පත්ව තිබූ දෙදින පුරාවටම සොවින්බර වා තළය සිසාරා සවන් පත් අතර රැව් දුන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අපූර්ව ස්වර මිහිර කැටිවූ සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනාව යි. බුදු පුදට වන් සිය කුළුඳුල් පුතුගේ සදහම් ස්වරය ඔස්සේ ගලාගිය පුණ්‍ය ගංඟාවන් මෙන්ම පිනෙහි අගය දත් සුවහසක් දනා ඇය වෙනුවෙන් රැස් කොට පුදකළා වූ සියළු පින් වැඩ හිඳිනා සුගතියක සිට ඇය අනුමෝදන් වන්නට ඇත. ආශ්චර්‍යමත් ලෙස පෙළගැසුනු පුණ්‍ය ගංඟාවන් රාශියකගේ සොඳුරු එක්තැන් වීම බුදු සසුනක අසිරිය යළි යළිත් අප නෙත් ඉදිරියේ ජීවමාන කරවන්නක්.

අවසන් හෝරාව එළඹියේ ය. දැයක බුහුමන් ලද සුපින්බර මැණියන්ගේ වියෝවෙන් දිව රෑ වැළපුනු මේඝ වළාවෝ මොහොතකට සැඟව ගියහ. දේහය රැගත් දෙන පෙරටුකොට ගත් සිය ගණනක් බුද්ධපුත්‍රයන් වහන්සේලා අවසන් ගමන් යන යුගයේ ශ්‍රේෂ්ඨ මාතාවට ගෞරව දක්වමින් පසුගමන් ගියහ. පිදිය යුත්තන් පිදුම ගෞතම බුද්ධ චරිතය තුළ පවා අපට හමුවේ. දනක් ජලයේ බැසගනිමින් තමන් මෙලොවට ජනිත කළ මෑණියන්ගේ දෙන හා පසු ගමන් වැඩි යුගයේ අසහාය බුද්ධ පුත්‍රයන් වහන්සේ අපට සිහි ගැන්වූයේ එදා අප මහා භාග්‍යවතුන් වහන්සේ ගිහි කළ කිරිමව් වූ මහා ප්‍රජාපතී ගෞතමිය වෙනුවෙන් පසුගමන් වැඩි සංවේගජනක මොහොතයි. තිලොවින් උතුම් බුදුවරුන් එදා ගත්මඟ ගනිමින් ඒ සම්බුදු අසිරිය යළි අප නෙත් හමුවේ ගැනහැර පෑ මේ සොඳුරු බුදු පුතුන් රැස්ව සිටි දන නෙතඟට එක කළේ සංවේදී කඳුලක්ම ය.

දෙන රැගත් අවමඟුල් පෙරහැර බොරැල්ල සුසාන භූමිය ඔස්සේ ගමන් ගන්නා අතරතුර තවත් අති දුලභ සිදුවීමක් වෙනුවෙන් සාක්‍ෂි දරන්නට රැසව හුන් දන සවන් පින්වන්ත විය. දසතින් රාව නැඟුනේ නැඟුනේ සදහම් සුවඳ පතුරන බුදුපුතු වරුන් සිදු කළ අනිත්‍ය භාවනාවයි. මඟ දෙපස සොඳුරු සිත්තමින් සැරසි කවිකම් කියා පෑවේ ඒ 'දෙව් ලොව වැඩි මව් ගුණ වරුණා' මය.

මෙවන් වූ සහසක් පුණ්‍යානුමෝදනාවන් හා ප්‍රශස්ති ගායනා මධ්‍යයේ විහාර මහාදේවී යුගයක් යළි ජීවමාන කළ යුගයේ ශ්‍රේෂ්ඨ මාතාවක් කෙළවර සොයා යන සසර ගමනේ ගලා ආ පුණ්‍ය ගංඟාවන් මතින් මේ තොටින් නැව් නැංඟේය. අමා මහ නිවන නම් වූ සයුර දුර නොගොසින්ම නුඹවෙත හමු වේවා සුපින්බර මෑණියනි...!

නිසලව ඇත අද
තොටිල්ල පැදවූ ඒ සොඳුරු අයෝමය හස්තය
එනමුදු,
තොටිල්ලේ හුන් කුමරා රජෙකි අම්මේ....
නුඹේ නැළැවිලි ගී රාවය අද
ලොවක් නළවයි
දැයක් සනහයි......


'දෙව් ලොව වැඩි මව් ගුණ වරුණා' 
එදා...
මාතෘ දිව්‍ය රාජයාණන් උදෙසා
දම්දෙසා සුවපත් කිරීමට
අප මහා භාග්‍යවතාණෝ තව්තිසාවට වැඩම කළා සේ...

මෙදා...
බුදු සමිඳුන්ගේ ළයින් උපන් සොඳුරු බුදු පුතු
ගයනු වස් මව්ගුණ
දෙසනු වස් සම්බුදු සදහම්
වඩිනා වගයි උපන් ගම බලා
අවධි කරමින්
ඒ සුමිහිරි සදහම් ස්වරය....

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෑණියන් වන
පින්වත් චාලට් පෙරේරා උපාසිකා මාතාව සිහිකරමින්
සිදු කෙරෙන ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය
මැයි මස 21 වැනි දින සිකුරාදා සවස 6.00 සිට
කඩවත, පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරයේ දී පැවැත්වේ.

මෙහෙයවීම
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
පින්වත් ඔබ සැම වෙත මෙත් සිතින් කෙරෙන ආරාධනාව යි..!  


අවමඟුල් උළෙලේ සේයා රූ…..

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails