Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

AKON ගේ නාඩගමට කුමට නම් අපි යක්බෙර වයමු ද​?

Tuesday, March 16, 2010 , at 11:02 PM



(ගෞතම සංදේශය 11)

එදා ගයාවේ බෝ මැඩ මුල අප මහා ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ලොවම වෙලා ගත් ඒ මහා මාර බලය​, මාර සෙනඟ පරාජය කොට ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වෙමින් එතැන් පටන් වසර දහසකට ඒ පවිටු බලය පරාජය කරන ලදී. මැඩලන ලදී. යටපත් කරන ලදී. බුදු සසුන බැබලුන වකවානුවයි ඒ. සත්‍යයේ කාහළ නාදය ගිගුම් දුන් අවධියයි ඒ. නිකෙලෙස් මුනිවරු මේ මිහි තළය පුරා ඇවිද ගිය සොඳුරු යුගයයි ඒ. බුදු බලය​, බුදු සුවඳ දසත වෙලාගත් රමණීය යුගයයි ඒ. ඒ අසිරිමත් දහස් අවුරුද්ද ගෙවී ගොස් හමාරය​. අද අප සිටිනුයේ එයින් වසර 2598ක් ගතවූ තැනය​. මාර බලයෙන් දසත වෙලී ගොසිනි. මාර සෙනඟ අවි අමෝරා සිටිති. ලෝක සත්‍යයට ඉඩක් ඇත්තේම නැත​. සත්‍යය සදාතනික වුවද එහි නිරාවරණයට හෝ පැවැත්මට ඉඩක් නැත​. ඒ අපට ගිලිහුනු අතීතය සහ හිමිව ඇති වර්තමානය සැකෙවිනි.

එළාර රජු පරදා රට එක්සේසත් කළ හෙළ වංශකතාවේ සුවිශේෂී, උදාර චරිතයකි 'දුටුගැමුණු'. ඔහු ජාතිය වෙනුවෙන් එතරම් වීරකමක් කළ ද මුල් අවධියේ තම බාල සොයුරු සද්ධාතිස්ස සමඟ යුද්ධයට ගොස් දෙවරක්ම පැරදී පළාගිය අයෙකි. ඔහු එවකට තමාගේ තරම දැන සිටියේ නැත​. තමාගේ පසුබිම ගැන පැහැදිලි වැටහීමත් තිබුනේ නැත​. නමුදු ජාතියේ පිනකට ඔහුට ඉහමොළ පෑදුනි. අප ද අපගේ තරම දැනගත යුතුය​. අපගේ පසුබිම ගැන අවබෝධයක් තිබිය යුතුය​. අපගේ අරමුණ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් තිබිය යුතුය​. අද ගෞතම සංදේශයේ මුල් දෙඡේදය අපගේ කතිකාවතට ප්‍රවේශයකි.

අපරදිග සංගීතයේ R&B/Hip-Hop රසිකයන්ගේ ආදරණීය නාමයකි AKON - Aliaune Badara Akon Thiam. මුස්ලිම් භක්තිකයකු වන මොහු ඇමරිකානු පුරවැසියකු වන අතර කළු අප්‍රිකානු සෙනේගල් සම්භවයකින් පැවත එන්නෙකි. ගායකයකු, ගීත රචකයකු, සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ලෙසද මොහු ප්‍රසිද්ධත්වයක් උසුලයි. බිරින්දෑවරුන් තිදෙනෙකුට හිමිකම් කියන මොහු ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය/ළඟ තබාගැනීම හා බාල වයස්කාර ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ දෙවතාවකදී වසර 5ක් දක්වා සිරබත් කෑ අයෙකි. Sexy Bitch නමින් මොහුගේ නවතම ගීත එකතුව මේ අසරණ මිථ්‍යාදෘෂ්ඨිකයාගේ පව්කම් ගොන්නට තවත් නිරයගාමී අකුසල් රැසක් එක්කරමින් මෑතදී එළිදක්වන ලදී. මොහුගේ මෙම ගීත ඇල්බමයේ වීඩියෝ දර්ශන සඳහා පසුබිමේ බුද්ධ ප්‍රතිමාවක් සහිතව අඩනිරුවතින්, අශීලාචාරව හැසිරෙන 'මාර දූවරුන්' යොදා ගැනීම මොහු ලොවපුරා බෞද්ධයන්ගේ උදහසට ලක්වීමට ආසන්නතම හේතුව විය​. මේ අතරතුර ලංකාගමනයකට සැරසෙන මොහු කිසිදා නොවූ විරූ ලෙස ලක් දනන් අතර කතාබහට ලක්වී ඇති සෙයකි. තවත් කොටසක් මේ පව්කාරයාට ගල් ගැසීමට සැදී පැහැදී සිටිති. මෙහිදී බෞද්ධ අපගේ කාර්‍යභාරය කුමක් ද​? අප කෙසේ හැසිරිය යුතු ද​? අප මොහුට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද​?

මතභේදයට තුඩුදුන් වීඩියෝ දර්ශන: (රාග සිත ගැන සැළකිලිමත් වන්න​)
Behind the scenes:
http://www.youtube.com/watch?v=9bl05ZoDRuE
Official video:
http://www.youtube.com/watch?v=ryDqnJM3Sz8

සංකර වූ බටහිර සංස්කෘතියට බුදුපිළිමයක් යනු තවත් එක් කලාත්මක භාණ්ඩයක් පමණි. හැදියාවක්, සංවරකමක්, අන් අයට ගරු කිරීමක්, පුදසත්කාර කිරිමක් ඔවුන්ගේ සංස්කෘතිය තුළ ඔවුහු නොදනිති. බෞද්ධයකු ජේසුස් වහන්සේගේ පිළිරුවට දක්වන ගෞරවය හෝ අල්ලා දෙවියන්ට දක්වන ගෞරවය බුදු පිළිමයක් වෙත දක්වන්නට ඔවුන් නොපෙළඹෙන්නේ එහෙයිනි. අප සංඝයාවහන්සේලා, දෙමාපියන් වන්දනා කරන විට ඔවුන් කට ඇරගෙන පුදුමයෙන් බලා සිටින්නේ එහෙයිනි. එය ඔවුන්ගේ නොදැනුවත්කම ය​. නොදියුණුකම ය​. ඔවුන් අනුකම්පා ලැබිය යුතු පිරිසකි. නමුදු බුදු දහමින් පන්නරය ලද අප ප්‍රෞඩ සංස්කෘතිය මනා සභ්‍යත්වයකින් යුතු වූවකි. පිදිය යුත්තන් පුදන්නට අපි දනිමු. අන් මත ගරුත්වයෙන් ඉවසීමට ද අපි දනිමු. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂාවෙන් අපි වාසය කරන්නෙමු. ඉවසීම මංගල කාරණයක් බව ද අපි දනිමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත් අපි දනිමු. සියළු සත්වයෝ 'කර්මය​' තම ඥාතියා කොටගෙන​​, 'කර්මය​' තම උප්පත්ති ස්ථානය කොටගෙන​ සිටින බව ද අපි දනිමු. එසේම හේතුවක් නිසා හටගත් සියළු සංස්කාරයෝ අනිත්‍ය වී යන බව ද අපි දනිමු. ඒ අපගේ ශාස්තෘන් වහන්සේ මේ සියළු කරුණු කාරණා මහා කරුණාවෙන් යුක්තව​, අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව වදාළ නිසාවෙනි. අවාසනාවට ‘බෞද්ධ’ අපට මේ බොහොමයක් දෑ අමතකව ගොස් ඇති සෙයකි.

ජාති ආගම් භේදයකින් තොරව AKON කාගේත් ආදරය දිනා සිටි අයෙකි. නමුදු අනිත්‍යතාවය මනාව පිළිබිඹු කරමින් ඔහුට පිදුම් දුන් ලෝකයම අද ඔහුට එරෙහිව නැගී සිට ඇත​. ලෝ දහම මෙයයි. අපට හැමදා ගල් ද​, හැමදා මල්ද නොලැබේ. වැරදුනොත් නිවැරදි කරගත යුතුය​. ඒ සඳහා නිහතමානී විය යුතුය​. එසේ නොවුව හොත් ඒ තුලින්ම ඔහු වැනසී යනු ඇත​. සත්-අට මසකට පෙර තුන් හෙළයම හිසනමා ගෞරවාචාර කළ ජෙනරල් ෆොන්සේකා ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැක​. AKON ගේ ඉරණම ද ලෝ දහම අනුව විසඳෙනු ඇත​. ඒ සඳහා අප කලබල විය යුතු නැත​.

'චේතනාව යනු කර්මය යි' ඒ බුද්ධ භාෂිතයයි. බොහොමයක් බෞද්ධයන් මේ අසරණ AKON දෙස බලනුයේ ද්වේශ සහගත චේතනාවෙනි. AKON කල ක්‍රියාවට ඔහුට නිසි විපාක ඇත​. ඒවා අද හෝ හෙට ක්‍රියාත්මක වනු ඇත​. ඒ ඔහු චේතනාත්මකව සිදුකළ ක්‍රියාවේ විපාකය​. ඔහු වෙත ද්වේශ සහගත සිතිවිලි ඇතිකොට ගෙන අපි වෙර දරන්නේ කුමකට ද​? ද්වේශය අකුසලයක් බව අපට නැවතත් අමතක වූවා නොවේ ද​? අකුසල් චේතනා පහළ කිරීමෙන් පවා අත්වන්නේ දුක් විපාක බව අපට අමතක වූවා ද​?............ මේ කර්මයන් ඵල දෙන හැටි මහා පුදුමාකරයි. ඒ නිසා අංශුමාත්‍ර වරදේ පවා බිය දකිමින් අප්‍රමාදීව​ දහම තුළ හික්මීම යි කළයුතු වන්නේ. ගෞතම බුදු සසුනේ සෝවාන් මගඵල ලැබූ මගධේශ්වර බිම්බිසාර රජතුමා පෙර භවයක කාෂ්‍යප බුදු සසුන පැවති සමයේ මනුලොව ඉපදිලා හිටියා. අහංකාර​, මාන්නක්කාර රජකෙනෙක් වෙලා. මෙයා දවසක් පන්සලකට ගිහිල්ලා හිතාමතාම පාවහන් දාගෙන චෛත්‍යය වටේ ගියා පිරිවර සමඟ​. ඊට පස්සේ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් වූ පා පිස්නයක මෙයත් කකුල් පිස දැම්මා. රජකමේ පවර් එකට​. ඒ කතාව එතනින් ඉවරයි. දැන් කෙනෙක් බලයි කෝ ඉතින් පල දුන්නද කියලා...... එයා සෝවාන් වුන ආත්ම භවයේ එයාගෙම පුතා අජාසත් එයාගෙ කකුල් පළලා ලුණු දැම්මා. මැරෙණකල්ම එයා ඒ දුක වින්දා. ඒකයි අපි මුලින් කිව්වේ මේ පව් පල දෙන හැටි හරි පුදුමයි කියලා.

බුදුන් වහන්සේ දැකිය හැක්කේ ඒ අපරිමිත ගුණ කඳ තුළින් සහ දේශිත උතුම් ධර්මය තුළින් මිසක අඹන ලද පිළිමයක් තුළින් නොවේ. ඒ බෞද්ධ අප ඓතිහාසිකව වරද්දාගත් තැනකි. බුදුපිළිම කලාවේ ආරම්භය දළ වශයෙන් ක්‍රි.ව.130 පමණ දඹදිව කුෂාණ රාජවංශික 'කණිෂ්ඨ' රජසමය යැයි පිළිගැනේ. එතැන් පටන් ආසියාව පුරාවටම මෙය ප්‍රචලිත වන්නට විය​. මේ බුදු පිළිම නිසා ලොකුම පවට කර ගැසුවේ ඉස්ලාම් අන්තවාදී තලේබාන් වරුය​. බුදු පිළිම වෙනුවට එතැන ධම්ම පදය කොටා තිබිනි නම්, ත්‍රිපිටකය කොටා තිබිනි නම් ඔවුන්ද සුරක්‍ෂිතය​. දහම ද සුරක්‍ෂිතය​. මන්ද ඉස්ලාම් ෂාරියා නීතියට පටහැනි වන්නේ පිළිම මිසක සෙල් ලිපි නොවේ. ගිය දේ ගියේ ය. වර්තමානය තුළ අතීතයෙන් පාඩම් උගෙන අප අනාගතයට පියමැණිය යුතු ය​.

AKON හට දෙස් දෙවොල් තබන බොහෝ ලාංකිකයන් හට ඇත්තේ සිය මනෝලෝක තුළ ආත්මගරුත්වය ගිලිහී යාම නිසා ඇතිවූ ද්වේශ සහගත හැඟීමක් මෙන්ම තම ආගමට විරුද්ධ වීම නිසා ඇතිවූ ආවේගශීලී මානසික තත්ත්වයකි. AKON බෞද්ධ ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ගතයුතු යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. කළ වරදකට සමාව ගැනීම ශිෂ්ඨසම්පන්න සමාජයක සිරිත ය​. නමුත් AKON ගේ ශිෂ්ඨසම්පන්න භාවය මෙන්ම ඔහු ජීවත්වන සමාජයේ ශිෂ්ඨසම්පන්න භාවය මැනවින් දන්නා අප ඔහුගෙන් එවැන්නක් අපේක්‍ෂා කිරීම කොතරම් ප්‍රායෝගික ද​? බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට​, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත​. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත​. අප කොතරම් කෑගැසුවද ප්‍රායෝගික සත්‍යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්‍යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත​. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි.

මේ අසරණ AKON දැන හෝ නොදැන නින්දා කරනු ලැබුවේ බුදුන් වහන්සේගේ නාමයෙන් අඹන ලද පිළිමයකටය​. නමුත් එදා දෙව්රම් වෙහෙරේදී චිංචි මානවිකාව බුදුරදුන් ඉදිරිපිටදී කළ නින්දාව​? අන්‍ය තීර්ථකයින් දිගින් දිගටම භාග්‍යවතුන් වහන්සේට, ධර්මයට එල්ල කළ චෝදනා? දේවදත්තයාගේ කෙනෙහිලිකම්? ඔවුන් සියළුදෙනා තමුන් කළ කී දෑ වල විපාක රැගෙන ඒ ඒ තැන් වල ගියහ​. නමුදු ඒ සදාතනික ධර්මයට හානි කරන්නට ඔවුන් කිසිවෙකුට නොහැකි විය​. තමුන් හට හෝ බුද්ධ ශාසනයට සිදුවූ මේ අසාධාරණ කෙනෙහිලිකම් හේතුවෙන් උන්වහන්සේ රාජ්‍ය නීතියේ සරණ පැතුවේ නැත​. රාජ්‍ය බලය යෙදෙව්වේද නැත​. අන්‍යපුද්ගල තීර්ථකයින්ගේ රැස්වීම්, යාග-හෝම වැළැක්වීමට ක්‍රියා කලේද නැත​. තමන් වහන්සේ සතුවූ අපරිමිත ඉර්ධි බලයෙන් ඒ ඕනෑම දෙයක් කිරීමට උන්වහන්සේට හැකියාව තිබිනි. අප සරණ ගියේ එවන් අසහාය චිත්ත සන්තානයකින් හෙබි වූ මහාකාරුණික​, අසමසම මනුෂ්‍ය රත්නයකි.

බුදු සසුනට අපරිමිත රාජ්‍ය අනුග්‍රහයක් පැවති එදා, මාර බලය මුළුමනින්ම මැඩපවත්වා තිබූ එදා, බුදුසසුනේ ස්වර්ණමය යුගය වූ එදා තත්ත්වය ඒ ආකාරය​. මෙවන් ගැටළු වලදී ක්‍රියා කලේ ඒ ආකාරයටය​. එසේ නම් මේ කිසිවක් නොමැති මෙදා..... අප කලබල වී, දහමත් අමතක කොට​, අකුසලුත් රැස් කොටගෙන කුමට නම් වල්මත් වන්න ද​? යමක් සිදුකිරීමට තමාගේ තරම​, පසුබිම මෙන්ම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව මේ කතිකාවත ප්‍රවේශයේදී අපි සඳහන් කළෙමු. පූර්වාපර සන්ධි ගැලපීම බුද්ධිමත් ඔබට භාරය​.
"මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිසක දුෂ්ප්‍රාඥයින්ට නොවේ"
- භාග්‍යවතුන් වහන්සේ

ගෞතම සංදේශය-
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​......



Bookmark and Share

Currently have 17 comments:

  1. දිමුතු නිලංක says:

    සාදු! සාදු! සාදු!

    නහි වෙරෙන වෙරානි
    සම්මන්තීධ කුදාචනං
    අවෙරෙනච සම්මන්ති
    එස ධම්මො සනන්තනො

    වෛරයෙන් වෛරයෝ කැසැ කළෙකත් නොසංසිදෙත්. අවෛරයෙන්ම ඔහු සදසිදෙත්.මෙය සදාතනික ධර්‍මයෙකි.

  1. Aaloka says:

    කෙටියෙන් පිලිතුරක් කියතොත්, ඔබේ ලිපියේ මුල් කොටස හා මා එකඟ වන අතර, පසු කොටස හා තරයේ වෙනස් මතයක් දරමි.

    එනම්,

    මෙහිදී අප බෞද්ධත්වය සහ බුද්ධාගමිකත්වය වෙන වෙනම වටහා ගත යුතුව ඇත. සැබෑව, මොහුගේ ක්‍රියාව ගැන තරහක්, වෛරයක් ඇතිකර ගැනීම අකුසලයකි. කිසිඳු බෞද්ධයෙක් එය නොකල යුතුය.

    නමුත් ඔහු අපගේ ආගමික ප්‍රතිරූපයකට පැහැදිලිව අපහාස කර තිබේ. ඊටත් වඩා අප රටේම මාඩ්ධ්‍යයන් විසින්, කිසිඳු ලැජ්ජාවකින් තොරව එවැන්නෙක් මෙහි ගෙන්වා කුනුහරප සන්දර්ශන පවත්වන්නට කටයුතු කර ඇත.

    මේවාට අප විරුද්ධ විය යුතුය. තරයේ විරුද්ධ විය යුතුය.හඬ නැගිය යුතුය. ද්වේශයෙන්, වෛරයෙන් පෙලපාලි යාමක් මින් අදහස් නොකරමි. ඒවා අප නොකල යුතුය.

    ---

    ඔබ උදාහරණයකින් දක්වා ඇත්තේ, අපහාස හමුවේ නික්ලේශී උත්තමයකුගේ ප්‍රතිචාරයයි. උන්වහන්සේ එසේ කරන්නේ, උන්වහන්සේට ලෝකය ප්‍රහීන වේ ඇති හෙයිනි. එය අදාල නොවන හෙයිනි. උන්වහන්සේ ලාභ සත්කාර අපේක්ෂා නොකරති.

    මම නික්ලේශී නොවෙමි. මට නික්ල්සේශීත්වයක් රඟ පෑ නොහැක. මම භාග්‍යවතුන් වහන්සේට අප්‍රමාණව ගෞරව කරමි. මාගේ ශ්‍රාස්තූන් වහන්සේට, අපහාස කල එකෙකු මගේ රටේ ඩෙඟා නැටීමට එන විට, ඊට විරුද්ධ වීමට මා හට ආගමික මෙන්ම සංසෘතිකමය අයිතියකුත්, ඊටත් වඩා වගකීමකුත් ඇත.

    අප බෞද්ධ ආගමිකත්වයේ සංස්කෘතික පෞරුෂයත්, මග වැඩීමත්, වෙන වෙනම් වටහාගත යුතුය. ඒවා පටලවා නොගත යුතුය. ධ්‍යාන වඩමින්, උත්තරීය මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නට වෙර දරමින්, රට ආගම දිවි පුදා වෙනුවෙන් සටන් කල අනගාරික ධර්ම පාල වැනි උතුමන්ගේ ජීවිත අධ්‍යයනය කිරීමට මම ඔබට ආරධනා කරමි.

    ---

    විරෝධය යනු, හිංසාව නොවේ. උපෙක්ෂාව යනු, කොන්ද පන නැතිකම නොවේ. හෙට උදයේ, ඔබට නිවසට පිඬුසිඟාවඩින ආගන්තුක ස්වාමින්වහන්සේ නමකට, ඔබේ අසල් වැසි අන්‍යාගමිකයා මූනට කෙල ගසා අගෞරව කලොත් ඔබ කුමක් කරන්නෙහිද?

    තෙරුවන් සරණයි!


    ප.ලි: මා මේ වෙබ් අඩවිය ඉතා අගය කරමි. කෙදිනකවත් මෙහිපලවන දෙයකට පිලිතුරු ලියා නැත්තේ ඒ පින්වත් ස්වාමින් වහන්සේලාගේ සදහම් අවවාද හිස්මුදුනින් පිලිගන්නා හෙයිනි. මේ ලිවූ පිලිතුර වරදවා වටහා නොගනිතැයි සිතන අතර, ඔබේ සදහම් සේවාවට අප්‍රමාණ පින්දෙමි.

  1. පින්වත් ආලෝක​,

    මෙහි කිසිදු ගැටිය යුතු කරුණක් නොමැත​. ලිපියෙහි පවසා ඇති දෙයට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මුළුමණින් එකඟ වී ඇත​. නමුත් මෙහිදී සිදුව ඇත්තේ ලිපියෙහි කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය පිළිබඳ ඔබ විමසිලිමත් නොවීම ය​. ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චරිතයක් ඇසුරින් සැබෑ සංසිද්ධි පාදක කොටගෙන මෙම ලිපියේ දෙවන ඡේදය සකසා ඇත​. ඔබගේ සටහන පුරාවට ඔබ කීමට උත්සහ දරන 'අපි මොහුට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද​?' යන්න පිළිබඳ අපි මෙහිදී සැකෙවින් නමුදු පැහැදිලිව​, උදාහරණ සහිතව දක්වා ඇත​. එසේම ලිපිය අවසනදී අපි නැවතත් එය පැහැදිලිව දක්වා ඇත්තෙමු......... "යමක් සිදුකිරීමට තමාගේ තරම​, පසුබිම මෙන්ම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව මේ කතිකාවත ප්‍රවේශයේදී අපි සඳහන් කළෙමු. පූර්වාපර සන්ධි ගැලපීම බුද්ධිමත් ඔබට භාරය​."

    මෙහිදී 'පූර්වාපර සන්ධි ගැලපීම' යනුවෙන් අපි නොකියා කී දෙය ඔබට පසක් වී නැති සෙයකි. ඔබගේ අදහස් සියල්ලම ඒ වචන 3 තුළ කැටිවී ඇත​. අප උත්සහ කලේ ඇතිවී තිබෙන තත්ත්වයට ධර්මය තුළින් ඒ ගිනි නිවාලන ආකාරයේ විසඳුමක් දීම විනා ඇවිලෙන ගින්නකට පිදුරු දැමීමට නොවේ. ගිනි තැබීමට​ සමාජයේ ඕනෑ තරම් පිරිස් ඇත​. නමුත් ගිනි නිවීම එසේ නොවේ. සැබෑ බෞද්ධයා යනු ස්වාධීන​, පිටකොන්දක් ඇති, එඩිතර චරිතයකි. ඔහු විරෝධයෙන් හිංසාකාරී වන්නේද​, උපේක්‍ෂාවෙන් නිවට වන්නේද නැත​. ලිපිය පුරාවටම ධර්මය තුළම රැඳීමට අප දැඩිව උත්සහ කළෙමු. ඒ මෙම සියළු ගැටළු වලට පිලිතුර ධර්මය තුළ පවතින බැවිනි. උතුම් බුද්ධ ධර්මය විනා පෞද්ගලික මතවාද කිසිවක් මේ තුළට ඇතුළත් කිරීම අපගේ අරමුණ නොවීය​. මෙහි ධර්මයට පටහැනි යමක් ලියවී ඇත්නම් එය ද අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ අවධානයට යොමු කරන මෙන් ඉල්ලමු.

    තෙරුවන් සරණයි!!!

  1. Anonymous says:

    නමුදු අනිත්‍යතාවය මනාව පිළිබිඹු කරමින් ඔහුට පිදුම් දුන් ලෝකයම අද ඔහුට එරෙහිව නැගී සිට ඇත​. ලෝ දහම මෙයයි. අපට හැමදා ගල් ද​, හැමදා මල්ද නොලැබේ. වැරදුනොත් නිවැරදි කරගත යුතුය​. ඒ සඳහා නිහතමානී විය යුතුය​. එසේ නොවුව හොත් ඒ තුලින්ම ඔහු වැනසී යනු ඇත...

    නියම වැකියක්.. කාටත් මෙය පොදුය

  1. Sasanda says:

    අනුකම්පා කළ යුතු චරිතයක්... මුන් පස්සෙන් යන අපේ සිංහල කොල්ලො, කෙල්ලොත් පවු...

  1. says:

    කවුරු කොහොම කිව්වත් ඕකේ ටිකට් සේරම උණුකැවුම් වගේ විකිනෙයි මන් හිතන්නේ අඩුම එකත් 5000ක් වත් වෙයි 5000 ඉඳලා 50000 වෙනකම් වත් ටිකට් තියෙයි. හැමෝම හොඳ පබ්ලිසිටියක් දෙනවා මේක ගැන දැම්ම ඉඳන් කතා කරලා.

    දැන් AKON ගැන ජීවිතේට අහලා නැති සහ අහන්න ඕනේ කමකුත් නැති අය හිටන් දන්නවා AKON ඇවිත් මෙහෙ ප්‍රසංගයක් තියන්න යන බව.

    පහුගිය පාර ශරුක් ඛාන් ආව වෙලාවේ නැටුවා වගේ නාඩගමක් මේ පාර නටන්නේ නැතුව හිටියොත් නම් ලොකු දෙයක්

  1. Anonymous says:

    Pirihena samajayata me owadan mila kala noheka.

  1. Dinusha says:

    බුදු දහම හෝ බුදු හිමියන් ගැන බිදකදු නොදන්නාල ඒ ගැන හරි හැටි අසා වත් නැති දුර රටක සිටින අන්‍යාගමිකයෙකු වන Akon ‍දෙස වෛරයෙන් හා තරහින් බැලීම බොදුනුවන් හට නුසුදුසු දෙයකි... ඔහුට‍ බුදු පිළිමයක් යනු නිකම්ම පිළිමයක් පමණි..

    එහෙත් මේ රටේම ඉපිද ධර්මය නිතර අසමින්ම බුදු දහමට නිගරු කරන්නන් බොහෝ සිටිති.. ඔවුන්ගෙන් සමහරක් Acon හට‍ බැන වදින අතර ඉතිරිය ඔහු වෙනුවෙන් පෙනී සිටිති.. ලංකාවට එනතුරු අවුරුදු ගණනාවක සිට බලා සිටිති..

    කාට හෝ බැනවදිමින් comments දාන්නට ඇත්නම් එයම වීරකමක් ලෙස සලකන පිරිසක් ද මේ අතර සිටිති..

    මොහු බුදු හිමියන්ට නිගරු කළත් නැතත් ඔහුගේ චරිතය දැන දැනම ඔහු වීරයෙක් කරන්නට උත්සාහ දරන්නන් මෙන්ම ඔහුගේ සංගීතයට අකමැති වුවත් බොහෝ දෙනෙක් කැමති යයි සිතෙන නිසා බලෙන්ම කැමති බව පෙන්වීමට උත්සාහ දරන්නන් ද සිටිති..

    කෙසේ වුවත් මෙහු ලංකාවට පැමිණි පසු මේ එකදු හේතුව්ක් වත් නැතිවම ගල් හෝ බෝම්බ ගසන බවට කයිවාරු දොඩවන්නන් පිරිසක් ද සිටිති.. ශාරුක් පැමිණි පසු ද බෝම්බ ගැසුවේ
    මේ වර්ගයේ ම අයයි

    අපේ රටේ ඇතමෙක් හැසිරෙන්නේ මේ ආකාරයෙනි.. බුදු දහමට අපහාස කළා යැයි අසභ්‍ය වචනයෙන් බැන වදින්නේ එකදු බුදු වදනක් හෝ නොදරන්නන් බව නම් පැහැදිලිය.

  1. Unknown says:

    March 17, 2010 7:12 PM
    Anonymous says:
    Pirihena samajayata me owadan mila kala noheka

    ඌණපූර්ණයක්: පිරිහෙන සමාජයේ ඉතිරිව ඇති පිනැති බුද්ධිමතුන් අතලොස්සට මේ ඔවදන් මිල කල නොහැක​.

    ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!!!

  1. Jagath Ravindra says:

    No one can TARNISH Buddhism in the world, the people whom is doing sins will get KARMA upon them eithier this life or next birth
    Sabba Papassa Akaranag
    Kusslassa Upasampada
    Chathithapariyo Dapanam
    Ethan Buddhana sasanam......
    We should not get excited & fight with people like AKON or whom ever trying to tarnish Buddist impage We should offer and look at them with Methha, Karuna and Muditha.......

    Jagath Ravindra

  1. Anonymous says:

    Theruwan Saranai,

    I highly agree with the contents of this letter. As it correctly mentioned its the so called Buddhists who destroy it. Not by the outsiders. We have lots of examples from our history where those times we did not have any monks in Sri Lanka. We always boast the historical value, of course I also proud about it, but how many of us know the correct information? During the 18th century , the very near past, all stupas ( Ruwanmeli seya, Sri Maha Bodhi and all other scared places in Anuradhapura and Polonnaruwa) were in dense jungle without any attention of the Buddhists.Most of them were rediscovered by the British surveyors during the colonial period. My point is Buddhism is not merely the status or pagodas. Those are only symbols. Anyone can make them, buy them and keep them in any place. If one wants to insult other religion, he insults his own religion too. Likewise, these things are negligible. If one thinks that these things harms Buddhism, he dosen,t know Buddhism. If one thinks that the Buddhists should retaliate, he is not a Buddhist.

    Think wisely..

    Sanjeewa

  1. තම තමන්ව බේරාගැනීම තුලින් සුරැකෙන බුදු දහම! (01 කොටස)
    “බුදු දහම රැකගනිමු?” මේ දක්වා මට ඇසුනු... වෙබ් අඩවි පුරා දකින්නට ලැබුණු මේ සටන් පාඨය ගැන සම්මා සම්බුදු පියාණන්ගේ නිවැරදි ඉගැන්වීම් තුලින්ම යමක් සටහන් තැබීම සුදුසු බව මට සිතුණි. මන්ද බොහෝ තරුණ මිතුරු මිතුරියන් ඉස් පාසුවක් නැතිව මේ සටන් පාඨයත් කරපින්නාගෙන කොහේදෝ ඉසව්වකට පිය මනින බවත් ඒ පිය මනින් ඉසව්ව නම් ඔවුන්ගේ යහපතට නොව අයහපතටම හේතුවන බවත් දැක මේ සටහන තබන්නේ සැබැවින්ම ඔබ සියලු දෙනාගේම කළණ මිතුරෙකු ලෙසිනි. කියවා අමතක කර දමන්න නෙවේ... විවෘත මනසකින් කියවා බුද්ධිමත්ව කටයුතු කරන්න පියවර ගනීවි යන අදහස ඇතිව බුද්ධිමත් මිතුරු මිතුරියන් වෙතටම ලියමි.

    “බුදු දහම රැකගනිමු” කියන සටන් පාඨය අතට හිතට අරගන්න අප සියලු දෙනාම කටයුතු කරන්නේ දැනට ලෝකය පුරාම සිදුවන විවිධ සිදුවීම් අහලා දැකලා... විශේෂයෙන්ම මේ ගැන අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බොහෝ පිරිස් උන්නදුවෙනවා. ඒකට හේතුව තමයි දැනට ලෝකය පුරාම සම්මා සම්බුදු පියාණන්ට... බුදු දහමට අගෞරව වන ආකාරයේ නොයෙක් දේ සිදුවෙමින් පැවතීම... එහෙම නේද? ඉතින් ගෙදර ඉන්න අම්මාට තාත්තට කව්රු හරි බැන්නොත්... කව්රු හරි ගහන්න ආවොත් දරුවන්ට දුක හිතෙනවා, තරහා යනවා වගේ බුදු දහම ඇසුරු කරන පිරිස විදියට අපටත් දුක හිතෙනවා... තරහා යනවා... මේක බොහෝම සාමාන්යියයි... “ලාෆින් බුද්ධා නැත්නම් සිනාසෙන බුද්ධ” ලෙසින්... “බුද්ධ බාර්” ලෙසින්... නැත්නම් නොයෙක් ගීත... නොයෙක් පින්තූර ආදී නොයෙක් දේ තුලින් බුදු දහමට බුදු හිමියන්ට අපහාස කරන්න නොයෙක් පිරිස ඉදිරිපත්වෙලා ඉන්නවා... ඉතින් ඒවා දැක්කාම අපට හිතෙනවා අප ඒවාට විරුද්ධව කටයුතු කරන්න ඕනේමයි කියලා... එහෙම නේද? ඉතින් අපි නොයෙක් සටන් පාඨ අරගෙන පෙල ගැසෙනවා... කණ්ඩායම් හදාගන්නවා... ඒගැන නිතර කථා කරනවා... ඒ ඒ පුද්ගලයන්ට නොයෙක් විදියට බැන වදිනවා... නීතිමය කටයුතු කරන්න පෙලගැසෙනවා... නොයෙක් දේ සිදු කරනවා...
    මම පුංචි පැනයක් අහන්නම්...
    ඔය සියල්ලම කලත් මුලු ලෝකෙන්ම බුදු හිමියන්ට හෝ බුදු දහමට අපහාස කරන එක නවත්තන්න ඔබට පුළුවන්ද?

    ඔය පැනයට තමන්ටම පිලිතුරු ලබාගන්න අතරේ මම කියා දෙන්නම් බුදු හිමියන් කොහොමද ඔය දේවල් නතර කරන්න කියලා දුන්නේ කියලා. මොකද අපහාස වෙන්නේ උන්වහන්සේට නිසා උන්වහන්සේම කියලා දුන්න ක්ර මය අනුගමනය කරන එක නේද හොදම දේ?

  1. තම තමන්ව බේරාගැනීම තුලින් සුරැකෙන බුදු දහම! (02 කොටස)
    බුදු දහම ඇසුරු කරන පිරිස දන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේ උන්වහන්සේට එරෙහිව අපහාස කරන්න... විරුද්ධව කටයුතු කරන්න කොපමණ පිරිසක් පෙළගැසුනාද කියලා... එයින් නිතර කථා බහ වන චරිත කීපයක් තමයි... දේවදත්ත... චිංචිමාණවිකාව... සුන්දරී යනාදී අය... මේ අය කරන්නට යෙදුනු විරුද්ධවාදීකම් මෙකල සිදුවන දේවලට වඩා බොහෝම බරපතල කරුණුයි. ඒත් අප සියලු දෙනාම දන්නවා මේ විරුද්ධවාදීන්ට ධර්මානුකූලව නිසි ඵල ලැබුණු අයුරුත් සම්මා සම්බුදු පියාණන්වහන්සේ ඒ ඒ අවස්ථාවල කටයුතු කරගත් ආකාරයත්. ඉතින් මේ සියල්ල දැන දැන තම තමන්වය අදුරෙන් අදුරට රැගෙන යන්න කටයුතු කරගන්නේ ඇයි කියලා ඔබ ඔබෙන්ම විමසීම වැදගත් වෙනවා.

    මේ කරුණු වලදී මුලින්ම ඔබ ඔබගෙන්ම ඇසීමට සුදුසුම පැනය තමයි මේ මේ කටයුතු වලින් ඇත්තටම සම්මා සම්බුදු හිමියන්ට අපහාසයක් වෙනවාද? බුද්ධ ශාසනය විනාශ වෙනවාද? යන පැනයන්... ඔබ හිතනවාද ලෝකය අල්ලාගෙන ලෝකයම හොදයි කියමින් නොයෙක් නොයෙක් විකාර මානසිකත්වයන් තුලින් පස් ඉදුරන් පිනවමින් ගමන් කරන පෘතග්ජන පිරිසකට සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපහාස කරන්න පුළුවන් කියලා? ඔබ හිතනවාද එවැනි පිරිසකට සම්මා සම්බුදු ශාසනය විනාශ කරන්න පුළුවන් කියලා? එහෙම හිතන නිසා ඔබ ඒ ඒ දේවලට විරුද්ධව නැගී සිටිනවා නම් තවම ඔබත් සසර අනාථයෙක්ම පමණයි.
    විවෘත මනසකින් හොදින් විමසා බලන්න... ඔබ විසින් බුදු දහම හෝ බුද්ධ ශාසනය හෝ රැකගත යුත්තේ ඇයි කියලා? රැකගන්න තරම් බුදු දහමේ තියෙන විශේෂත්වය වැදගත්කම මොකක්ද කියලා ඔබ අවබෝධ කරගත්තාද? තවමත් ඔබ ඔය සටන් පාඨ දරමින් බුදු දහම රකින්නට යනවා නම් ඔබ ඔය සැබෑ වැදගත්කම අවබෝධ කරගත් අයෙක් නෙවේ!

    සම්මා සම්බුදු පියාණන් කෙනෙක් ලොවට පහල වෙන්නේ... බුද්ධ ධර්මය ලෙසින් ධර්මයක් ලොවට එලි පෙහෙලි වන්නේ ඇයි? කල්ප ගණන් තිස්සේ ගනින්නටවත් නොහැකි තරම් අනන්ත කාලයක් තුල මේ සසර පැවැත්ම තුල අනාථයෙනුත් අනාථයින් ලෙස අසරණ වෙලා අනන්ත දුකකට කරගහගෙන යන පිරිස එයින් මුදවාගන්න තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් කල්ප ගණනක් තුල නොයෙක් කැප කිරීම් කොට ඒ තත්වයට පත්වෙන්නේ... උන්වහන්සේ ලෝක සත්වයා ඇත්ත කියලා රැවටිලා ඉන්න බොරුවෙහි ඇත්ත පෙන්වා දී යථාර්ථය අවබෝධ කරගන්න ධර්මයක් දේශනා කරලා දෙනවා. මේ අවස්ථාවන් කොපමණ දුර්ලභද කියනවා නම් මේ අනන්ත සසර තුල ඒ ධර්මය නියමාකාර අරුත් ඇතිව පවතින කාල සීමාව සිතා බැලුවොත් අනේ තත්පර ගණනක් වැනි සුළු කාලයක් වගේ නේද කියලා හිතෙනවා... ඒත් ඒ කාලය තුලත් මිනිසුන් වෙලා උපදින්නට වාසනාවන්තව... එයිනුත් යමක් අසා අවබෝධ කරගන්න තරම් බුද්ධිමත්ව ඉපිද සිටීමට වාසනාවන්තව නිකරුනේ කාලය නාස්ති කර දමන්න කටයුතු කරනවා.

    සම්මා සම්බුදු හිමියන් දේශනා කලා “කිසිවෙකුටත් ඔබව ගලවා ගත නොහැකියි! ඔබ, ඔබේ සිත, කය, වචනය රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මුදවාගෙන සංවර කරගන්නේ යම් දිනකද ඔබ ඔබේම ගැලවුම්කරුවා වනු ඇත!” මොකක්ද මේ උන්වහන්සේ පෙන්වා දුන්නේ... මේ අනන්ත සසර පැවැත්ම තුල අන්ත අසරණ අනාථයින් වෙලා ඉන්න ඔබටත් මටත් එයින් මිදෙන ගැලවෙන මාර්ගය නොවේද මේ පෙන්වා දුන්නේ? උන්වහන්සේගේ මේ දේශනාව තුලම ගැබ්වෙලා තියෙනවා නේද යමෙක් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන තාක් ඒ පුද්ගලයාට දුකෙන් ගැලවීමක් නැහැ යන අදහස? ඒ පුද්ගලා පැවැත්ම තුල අසරණ අනාථයෙක් පමණක් බව?

    ඉතින් හිතන්න... මේ තමයි හොදම අවස්ථාව මේ කරුණු ගැන හිතන්න... බුදු දහම රැකගන්න... ශාසනය විනාශයෙන් රැකගන්න කටයුතු කරන ඔබ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව ඔබවම ගලවා ගෙන සිටින්නෙක්ද? ඔබ කටයුතු කරන්නේ මේ ශාසනයට විරුද්ධව එනවා යැයි සිතෙන දේ සමග ද්වේශයෙන් නොවේද? ඒ ද්වේශය පැමිණියේ බුදු දහම රැකගත යුතුයි එයයි මගේ කැමැත්ත... මගේ කැමැත්තට අනුව කටයුතු සිදුවෙනවා දකින්න මම කැමතියි... ඒ නිසා මගේ කැමැත්තට අනුව සිදුනොවන දේ සමග මම ගැටිය යුතුයි යන රාග අදහස මත නොවේද? මේ සියල්ල මගේ කැමැත්තට අනුව කොහොම හරි මට පවත්තා ගන්න පුළුවන් යන අදහසම මුලා අදහසක් නොවේද? ඉතින් ඔබ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පෙලෙන අනන්ත සසර තුල අසරණ අනාථයන් අතර තවත් අනාථයෙක්ම නොවේද?

  1. http://www.facebook.com/profile.php?ref=profile&id=1067518373#!/note.php?note_id=377938721883&id=1067518373&ref=mf

    READ MORE

  1. inoka jayawardana says:

    සාදු! සාදු! සාදු!

  1. RaguXt says:

    the wisest thing i've heard in ages!! *respect*

  1. Anonymous says:

    සාදු! සාදු! සාදු!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails