'දස බලධාරී අප මහ මුනිරජු'
ඒ කොහොමද? අර 'සම හරක්' විශ්වාස කරනවා වගේ මරණින් මත්තෙද? තථාගතයන් වහන්සේ වදාරණවා ‘යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති’.... “යමෙක් ධර්මය දකින්නේද, ඔහු තථාගතයන් වහන්සේ දකින්නේ ය”.... කියලා. මරණින් මත්තේ නෙවෙයි. මේ ජීවිතයේදීම. මොකද මේක සන්දිට්ඨික වූත්, අකාලික වූත් ධර්මයක්. මේ ජීවිතයේදීම දකිය යුතු, දැකිය හැකි ධර්මයක්. කාලත්‍රයටම පොදුවූ පරණ නොවන ධර්මයක්. ඉතින් ඒ ධර්මය දකින කෙනා තමයි තථාගතයන් වහන්සේව දකින්නට තරම් භාග්‍යවන්ත වෙන්නේ. එහෙම නැති වුනොත් අපි හැමදාම මැටි පිළිම, ගල් පිළිම වලට වැඳ වැඳ ඒ තුළින් බුදුරජාණන් වහන්සේ දකින්න උත්සහ කරාවි. ඒ තුලින් නැවතත් අපි ගස් ගල් අදහපු ආදිවාසී 'ගල් යුගය' කරා ඉබේම තල්ලු වෙලා යාවි. අනවබෝධය නිසාම..… ධර්මයට සුදුසු තැන නොලැබුනොත් ඒ දේවල් ඒ විදියටම තමයි සිද්ධ වෙන්නෙ.
සම්බුදු සිරුර දෙස ඇසිපිය නොහෙලා බලාසිටි වක්කලී හිමියන්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසා වදාරණවා "පින්වත් වක්කලී, මේ කුණු ශරීරය දැකීම තුළින් ඔබට ඔබේ ජීවිතය සඳහා ලබා ගත හැක්කේ කුමක් ද?" කියලා. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හෙබි මනස්කාන්ත වූ අසිරිමත් සෝබමාන සිරුරක් දැරූ අසම සම පුද්ගලයකුගේ උදාර ප්‍රකාශයක් ඒ. මේ කුණු ශරීරෙ අංශුමාත්‍ර දෙයක්වත් 'සුභ' ලෙසින් ගත හැකිනම් උන්වහන්සේ ඒ ප්‍රකාශය කරන්නෙ නැහැනෙ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් 1/64ක් වත්, අඩුගානේ සේයා මාත්‍රයක්වත් නැති වර්තමානයේ උදවිය බලන්න මේ ගඳගහන ශරීරෙ බදාගෙන කරන විගඩමක මහත.....! බියුටි පාලර් ගානෙ වරු ගණන් රස්තියාදු වෙන හැටි. හෝද හෝද, පාට කර කර, සුවඳ ගගහ යන අසූචි කළේට ඔය මුකුත් නොකර දවසකට පොඩි රෙස්ට් එකක් දීලා හවස් වෙලා බලන්න තත්වෙ කොහොමද කියලා. තමුන්ටම තේරේවි රඟේ.
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්, අනන්ත වූ බුදු ගුණයන්, මහා දසබල ඥාණයන්, විශාරද බුද්ධ ඥාණයන් ආදී මේ සියල්ල දරා සිටීමට තරම් උන්වහන්සේ භාග්‍යසම්පන්න වුනා. පරිපූර්ණ මනුෂ්‍යරත්නයක් වුනා. ඒ භාග්‍යසම්පන්න, පරිපූර්ණ, දෙව්-මිනිස් සියළු සත හට උතුම් වූ, පතළ මහා කරුණාවෙන් යුතු වූ අසම සම උත්තමයන් වහන්සේ ශාස්තෘත්වයේ සළකා උන්වහන්සේ සරණයාමට තරම් අප භාග්‍යවන්ත වුනා.
නමුත් අද වගේම එදත් හිටියා ඒ උතුම් ගුණ අඳුනගන්න බැරි වුන අඥාණ, මෝඩ, හිස් පුරුෂයින්. ලිච්ඡවි පරපුරෙන් පැමිණ උතුම් බුදු සසුනේ පැවිද්ද ලබා ගත් 'සුනක්ඛත්ත' කියන්නේ එහෙම කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේ පසුපසින් වඩිමින් කළක් බුද්ධෝපස්ථානයේ පවා නිරත වුනා. නමුත් එයා ටික කළකින් සිවුරු ඇරලා ගිහින් හන්දි ගානේ, සෙනඟ රැස් වෙන තැන්වලට ගිහිල්ලා බුදුරජාණන්වහන්සේට, බුද්ධ ශාසනයට මඩ ගැසීමේ අරමුණින් විවිධාකාර දේවල් කියන්න පටන් ගත්තා. අද අපේ රටේ, ඒ කිව්වේ 'ධර්මද්වීපයේ' දේශපාලඥයො එකිනෙකාට කරගන්න වැඩේ එදා සුනක්ඛත්ත තනියම කළා. දවසක් ධර්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට දැක්ක මේ හිස් පුද්ගලයා කරන දේ. පස්සේ විවේකී වෙලාවක උන්වහන්සේ මේ බව බුදුන් වහන්සේට සැළකර සිටියා. ඉතින් බලන්න.... උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයක පවා එවැනි හිස් පුද්ගලයො හිටියා. සුනක්ඛත්ත කොයිතරම් ළඟින් බුදුන් වහන්සේව ඇසුරු කළත් එයාට හැකිවුනේ නැහැනෙ බුදුන් වහන්සේව දකින්න. ඇයි ඒ....? එයා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැක්කේ නැහැ. ඒ උතුම් ධර්මය දකින්න එයාට පින තිබුනේ නැහැ. අන්තිමට ගිහින් නැවතුනේ නිරයෙ.
මතු සබැඳි....
(මහමෙව්නාව 2551 වෙසක් සඟරාවට කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත ලිපියක් ඇසුරෙන්....)
Currently have 0 comments: