Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'දස බලධාරී අප මහ මුනිරජු' – (02)

Tuesday, January 5, 2010 , at 9:11 PM

ගෞතම බුදු සමිඳුන්ගෙ සෙවනැල්ල යට ඉඳලත් බුදු පහස​, දම් සුවඳ අඳුනගෙන ඒක විඳගන්න සුනක්ඛත්තට බැරි වුනානෙ. ඉතින් මේ කරුණ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ තුළ තිබෙන අභීත වූ, අසාමාන්‍ය වූ, අතුල්‍ය වූ, විශාරද වූ, අති ගාම්භීර වූ තථාගත බල 10ක් පිළිබඳව ගෞතම බුදු සසුනේ ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතරින් අග තැන් ලද​, දකුණත් සව් සාරිපුත්ත මහ රහතන් වහන්සේට විස්තර කර දෙනවා.


බටහිර විද්‍යාව නොහොත් 'අසම්පූර්ණ පෘථඃජන පර්‍යේෂණය' සරණ ගිහිල්ලා නොදරුවන් වගේ අඳුරේ අත පත ගාන උදවිය මහ පොළොවෙ වැලිකැට ගානට ඉන්නවනෙ. ඒ අස්සෙ ඔය ආගම් නාමයෙන් අටවගත්ත විජ්ජාකාරී 'මිනිස් කෙමණ​' නිසා කී දාහක් නම් මිනිස්සු අද මිථ්‍යාදෘෂ්ඨික භාවයට පත්වෙලා තියෙනවද​..... සාස්තර​, ගුරුකම්, බලි, පේන වල එල්ලීගෙන මිනිස්සු මොනවද මේ හොයන්නෙ..... පෙරකළ පිනකට මිනිස් මොළයක් ලැබුනෙ දුමේ දාල තියන්න නෙවෙයි. ඕක කුරුවල් වෙලා යන්න කලින් පොඩ්ඩක් පාවිච්චි කරන්න​. අපි මේ දැන් කතාකරපු කාරණා එක්ක මේ උතුම් තථාගත බල 10ත් සසඳලා බලන්න​.


1. තථාගත බුදුරජාණන් වහන්සේ සිදුවිය හැකි දෙය සිදුවිය හැකි දෙයක් ලෙසත්, සිදුවිය නොහැකි දෙය සිදුවිය නොහැකි දෙයක් ලෙසත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


2. තථාගත බුදුරජාණන් වහන්සේ අතීත​, අනාගත​, වර්තමාන යන කාලත්‍රයේ ඕනෑම කර්මයකට ලැබෙන විපාක ගැන ඒ ඒ හේතු වශයෙන් ද​, තැන් වශයෙන් ද ඉතා නිවැරදි ලෙස අවබෝධ කරගෙන සිටිනවා.


3. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයේ ඕනෑම ආකාරයකින්, ඕනෑම කෙනෙකුගේ උපතක් සිදුවන ආකාරයත්, එයට හේතු වන්නා වූ සියළු කරුණුත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


4. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා නොයෙකුත් ධාතු ස්වභාව වශයෙන් ගැලපී යන ආකාරය ගැනත්, එනම් සත්පුරුෂ​-සත්පුරුෂ එකතු වීම, අසත්පුරුෂ​-අසත්පුරුෂ එකතු වීම ආදී ධාතු ස්වභාව ගැනත්, හොඳ​-හොඳ එකතු වීම​, නරක​-නරක එකතු වීම ආදිය ගැනත්, ලෝකයේ පවතින නා නා විධ ධාතු ස්වභාව ගැනත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


5. තථාගත බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයේ ජීවිත වලට මේ සත්වයා සකස් වෙමින් යන ආකාරයත්, මේ සත්වයන් තුළ ඇති විවිධත්වයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


6. තථාගත බුදුරජාණන් වහන්සේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයක බලපවත්වන කුසලතා දියුණු වන ආකාරයත්, පිරිහී යන ආකාරයත් පිළිබඳව ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


7. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විසින් බණ භාවනා වශයෙන් දියුණු කරන්නා වූ ධ්‍යාන​, විමෝක්‍ෂ​, සමාධි, සමාපත්ති ආදියත්, ඒවා පිරිහීමට හේතු වන කරුණුත්, එයින් අත්මිදෙන ආකාරයත්, ඒවා දියුණු කළ හැකි ආකාරයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


8. තථාගත බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත එකක්, දෙකක්, තුනක් නොව සිය දහස් ලක්‍ෂ කෝටි කල්ප ගණන් ගෙවා ඇති අයුරු ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


9. තථාගත බුදුරජාණන් වහන්සේ කර්මානුරූපව ලෝක සත්වයා චුත වන ආකාරයත්, කර්මානුරූපවම යළි උපදින ආකාරයත්, පව් කළ උදවිය එම පව් හේතුවෙන් දුගතිගාමී වන ආකාරයත්, එලෙසම පින් කළ උදවිය සුගතිගාමී වන ආකාරයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


10. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ උපදවා ගන්නා ලද අතිවිශිෂ්ඨ වූ ඥාණය මෙහෙයවීමෙන් සියළු කෙලෙසුන්ගෙන් නිදහස් වී උතුම් අරහත්වයට පත්වී වදාල බව ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිනවා.


ඔයාල කවුරුවත් අහල තියෙනවද ලෝක ඉතිහාසයෙ මේ උතුම් දසබල ඥාණයන් දරපු තවත් ශාස්තෘන්වහන්සේ නමක් ගැන​..... බුදුවරයකුම හැරෙන්නට​? අන්න ඒකයි ඔබ අප සරණ ගිය ඒ උන්ත්තමයන් වහන්සේ අසම සමයි කියන්නේ. 'ධර්මද්වීපය​'ක ඉපදුන, ජීවත්වෙන 'බෞද්ධයො' හැටියට අපේ ශාස්තෘන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ බලයන් ගැන අපේ දැනුම මොන ආකාරද​..... මේවා අහල​, කියවල විශ්වාස නොකරන 'බෞද්ධයො' කීදෙනෙක් ද​..... ඉතින් අනිත් ආගම් වල අවාසනාවන්ත මිථ්‍යාදෘෂ්ඨික පිරිස් ගැන කවර කතාද​??? බලන්න අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තිසරණයේ පිහිටලා කටයුතු කරන​ ශ්‍රාවකයා කොයිතරම් බුද්ධිමත්ද, වාසනාවන්තද කියලා.


".......වැලි කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි

ඇහිලූ මැණිකද සුරකින එක ඊට අසීරුයි...."


මතු සබැඳි....

(මහමෙව්නාව 2551 වෙසක් සඟරාවට කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත ලිපියක් ඇසුරෙන්....)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails