Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

‘වාසනාවන් කළණ මිතුරු ඇසුර’

Friday, November 6, 2009 , at 1:50 PM

ලැබුවේ අවවාද නොහොබින ආරකය

දුදනන් නිසා විය සෙනසුරු මාරකය

මං පෙර ගියේ වරදින් පිරි පාරකය

ඒ ගිය මඟේ අවසානය පෝරකය


උතුම් ගෞතම බුදු සසුනේ පහස විඳින පින්වත් මිතුරනේ,


මේ අර්ථාන්විත, ළයාන්විත, මධුර පද පේළි අහපු, විඳපු නැති කෙනෙක් ඉන්නව ඇත්තෙ බොහොම කලාතුරකින්නෙ. බලන්න මේ සොඳුරු පද පේළි අතරෙ අසිරිමත් බුද්ධ වචනය ලස්සනට කැටි වෙලා තියෙන අපූරුව. සමහර විට මේකෙ නිර්මාණකරුවන්වත් ඔවුන්ගේ මේ නිර්මාණයට ඒ වගේ අර්ථකතනයක් දෙන්න අදහස් කරන්න නැතුව ඇති. කොහොම නමුත් අද අපේ වෑයම මේ නිර්මාණය අගය කිරීමවත්, ඒකට අළුත් අර්ථකතන දීමට කාලය මිඩංගු කිරීමවත් නෙවේ. ඒ තුළින් අපට ලැබෙන බුදුන් වහන්සේගේ ඒ උතුම් බණ පදය, අසිරිමත් බුදු වදන අපේ ජීවිත සුන්දර කරන, ආලෝකමත් කරන ආකාරය ගැන මොහොතක් කතා කරන්න යි.


"භාග්‍යවතුන් වහන්ස, මට නම් හිතෙන්නෙ මේ බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම රඳා පවතින්නේ කළ්‍යාණමිත්‍රයින් මත යි කියලයි. ඔවුන්ගේ කළ්‍යාණ වූ ඇසුර මත යි කියලයි."

එක වකරට බණ පද 60,000 ක් ධාරණය කරගැනීමට තරම් අසිරිමත් මතක ශක්තියකින් හෙබි වූ, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරුන් එහෙම පවසත්දි බුදුරජාණන් වහන්සේ වදාරණවා....

"හා... හා..... ආනන්ද, එහෙම කියන්න එපා. හරි අඩක් නෙවෙයි, මාගේ මේ මුළු ශාසනයම මුළුමනින්ම රඳා පවතින්නේ ඒ සුන්දර වූ කළ්‍යාණ මිත්‍රයන් මතමයි. ඔවුන්ගේ පරම කළ්‍යාණ වූ ඇසුර මතම යි."

ලෝක නාථ වූ බුදුවරයකු ඒ අයුරින් පවසත්දි, 'කළ්‍යාණමිත්‍රයා' කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති අය 'බෞද්ධ' අප අතරෙම කොයිතරම් නම් ඉන්නවද..... ඉතින් අබෞද්ධ අය ගැන කවර කතා ද....? බලන්න මේ අය කොයි තරම් අවාසනාවන්ත ද කියල. නමුත් ඒ අයට චුට්ටක් හරි හිතන්න පුළුවන් කම තියෙනවනම්, හරි විදියට නුවණ මෙහෙයවන්න හැකියාව තියෙනවනම් ප්‍රමාද නොවී..... වාසනාවට අත පොවන්න තවමත් ඒ අයට අවස්ථාව තියෙනවා.


අපි මේ ජීවිතය ගත කරන්නෙ තනියම නෙවෙයි නෙ. දහසක් දෙනා අපි අසල ඉන්නවනෙ. විවිධාකාරයේ අය..... යාළු මිත්‍රයො, නෑදෑයො, සහෝදර සහෝදරියො.... ඒ දන්න අය ඇරුනහම නොදන්න නමුත් අපට නිතර මුණගැහෙන පිරිස..... ප්‍රමාණ කරන්න හැකි වේවි ද මෙච්චරයි කියලා....? මේ අයගෙ ගති ගුණ, සිතිවිලි කොයිතරම් නම් විෂමාකාර ද.....? අපිත් ඔය අතරෙ ගැවසෙන තවත් එක විෂම චරිතයක්නෙ. අපි බොහෝ දෙනෙක් දන්න, ඒත් හැංගුන කාරණාවක් මෙතන තියෙනවා. අපේ මේ චරිතය, අපි කරන කියන සියළු දේ මෙහෙයවන්නේ, ආරම්භය ලබා දෙන්නේ මේ අපි දැන් කතාකරපු විෂමකාරී සමාජයෙන්. දැන් කෙනෙක් තර්කයක් ගේන්න පුළුවනි සියළු දේ මෙහෙයවන්නේ 'සිත' කියලා. මුලා වෙලා ගැටෙන්න එපා....... එයාට එහෙම හිතුනේ මේ මායාකරී හිත 'මම' ය කියල අල්ලගත්ත නිසා. මේ හිත ඔයාටවත් මටවත් අයිති නැහැ. ඒකට වෙනම අයිතිකාරයෙන් ඉන්නව. මේ ඒහි ඵස්සික වූ ධර්මය තුළට ඇවිත් බලන්න..... ඒ අයිතිකාරය ඔබට මුණගැහේවි. නිතර නිතරම.......


අපි හැමෝම අහල තියෙනවනෙ අර කන්දෙන් පහලට වැටුනු ගිරා පැටව් දෙන්නගෙ කතාව. එක්කෙනක් වැටුන තාපස ආශ්‍රමයක් ලඟට. අනිත් එක්කෙනා වැටුනෙ හොරු රංචුවක් හිටිය තැනට..... මතකනෙ කතාවෙ ඉතුරු ටික. අපිට වෙලා තියෙන්නෙත් ඔය දේම තමා. අපි මුලින් කතා කරපු අර පද පේළි වල තියෙන්නෙ මිත්‍ර වේශයෙන් ආපු දුසිල්වත් අසත්පුරුෂයන් නිසා පුද්ගලයකුට මේ ජීවිතේ අත්විඳින්න වුන තවත් ඛේදාන්තයක් නෙ. ඔයාලට නිකමටවත් හිතුනද මේ සමහරු නිම්-ඉම් හොයන, නමුත් මේ යන විදියට ගියොත් කවරදාකවත් නිම්-ඉම් හමු නොවන මේ දුක්ඛිත, බියකරු සංසාරේ අපි කී වතාවක් නම් ඒ විදියට පෝරක වලට නියම වෙන්නට ඇති ද කියලා..... බෙලි කැපුම් කාල, වෙඩි පාර කාල, හී පහර කාල කොයි තරම් නම් වාර ගාණක් අපි මිය යන්නට ඇතිද....? මේ අනන්ත සංසාරෙදි කෙනෙක් බෙලිකැපුම් කාලා මියගිය අවස්ථා වලදි පමණක් ගලා ගිය ලේ ප්‍රමාණය සතර මහා සාගර ජලයට වැඩි බවම යි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. හිතාගන්නත් අමාරුයි වගේ නේද.....? මේ සසර ඒ තරම්ම දුක්ඛිතයි.... බියකරුයි. ඇයි අපට එහෙම වුනේ.....? මේ සත්‍ය වූත්, පරම ගම්භිර වූත් ධර්මය තුළට පැමිණිලා ජීවිතාවබෝධය නොකිරීම මයි හේතුව. මේකෙන් මිදෙන්න තියෙන එකම මාර්ගයත් ඒකම විතරයි.


පින්වත් මිතුරනේ....... ආශ්‍රයක් නිසා කෙනෙක් වෙනස් වෙන්න තියෙන හැකියාව වගේම වෙනස් වෙන ආකාරය සමහර වෙලාවට අපේ හිත් වලට ගෝචර නොවන තරම්..... ඒක ඒ තරම්ම ප්‍රබලයි....... බලගතුයි. නොමඟට ගිය කෙනෙක් ආපහු සුමඟට ගන්නව කියන එක හරිම අමාරු කාරියක්. නමුත් හොඳ කෙනෙක් වරදට පෙළඹෙන එක බොහොම පහසුවෙන්, මොහොතකින් සිද්ධ වෙන දෙයක්. ඕන තරම් උදාහරණ අපට එදිනෙදා ජීවිතයෙන්ම හමු වෙනවනෙ.


අපට ගොඩාක් යාළු මිත්‍රාදීන් ඉන්නවනෙ. විවිධ අවස්ථා වල ඒ අය සෑහෙන උදව් කරනවනෙ. මෙයින් කීයෙන් කී දෙනාද අපෙන් නැවත යමක් බලාපොරොත්තු නොවී අපට උදව් කරන්නෙ……... අඩුම තරමෙ ප්‍රශංසාවක්වත් ඒ අය අපේක්ෂා කරනවනෙ. එහෙම නොකලොත් ඒ අයගෙ හිත් නොහොඳ වෙන්නත් පුලුවනි..... දැන් ඔයාල ඔය මායාකාරී මනසත් එක්ක විතර්ක කරන්න යන්න එපා "මම එහෙම නෑනෙ", "අරය එහෙම නෑනෙ", "අපි පිරිසිදු සිතින්නෙ උදව් කරන්නේ" කියල. ඔයාගෙ අපේක්ෂා වලටම ගැලපිලා යන විදියට මනසිකාර සකස් කරල දේවි. මනසේ ස්වභාවය ඒකයි. ඒ නිසා ඒ මත්තේ ගැටෙන්නෙ නැතුව මැදහත්ව කල්පනා කරල බලන්න නිවාඩු පාඩු වෙලාවක. නමුත් කළ්‍යාණමිත්‍රයා ඒ සියළු උපකාර කරන්නෙ කවරදාකවත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවේ. එයාගෙ එකම බලාපොරොත්තුව ඔයාගෙ යහපත විතරමයි. තවත් දෙයක්...... අපේ මුදල් අඩු පාඩුවකදි, ලෙඩකදි දුකකදි, හදිස්සියකදි උදව් කරන අයට 'කළ්‍යාණමිත්‍ර' කියන නම යොදන්න අපි පුරුදු වෙලා ඉන්නවනෙ. මෙහෙම හිතල බලන්න...... ඔන්න ඔයාගෙ අම්මගෙ මරණෙ වෙලාවෙ ඔයා අතේ මුදල් හිඟ වෙලා ඔයාගෙ හිතවතෙක් සියළුම වියදම් දරනවා. හත් දවසෙ දානෙටත් වියදම් දරනවා. දානෙ ඉවරවෙලා මෙන්න ඇරෙනවා බෝතල්.!!! ඒකත් එයා ගානෙ. නොබොන ඔයාටත් බොන්න බල කරනවා (බොන බේබද්දන් ගැන කවර කතාද?)..... දැන් මේ අන්ධබාල පෘථඃජන සමාජයේ ඩෙෆිනිශන් එකට අනුව මෙයත් කළ්‍යාණමිත්‍රයෙක් නේද? බලන්න සැබෑව හා මුලාව අතර පරස්පරය කොයි තරම් ද කියල.


උතුම් බුදු සසුනක් තුළ පමණක්ම හමුවෙන මේ සුන්දර කළ්‍යාණ මිත්‍ර ඇසුරට පත් වෙන කෙනා කවරදාකවත් අයහපතට, දුසිරිතට යොමු වෙන්නෙ නැහැ. දුගතිගාමී අකුසල් වලින් වලකිනවා. හරි-වැරැද්ද, කුසල්-අකුසල් මනාව අඳුනගන්නවා. ඒ අනුවම ක්‍රියා කරනවා. සුළු වරදෙහි පවා බිය දකිනවා. ප්‍රඥාවන්ත, කළ්‍යාණමිත්‍ර, සත්පුරුෂයින්ගෙන් ගැරහුම් ලබන්න පුළුවන් සියළු පාපී දේවල් වලින් එයා මිදෙනවා. නිවන් මඟට බැස ගන්නවා. සසර පුරාවටම තමන්ට ආරක්ෂාව සලසා ගන්නවා........ වගබලා ගන්නවා දුගතිගාමී නොවන්නට. බලන්න උතුම් කළ්‍යාණමිත්‍ර ඇසුර නිසා කෙනෙකුට ලැබෙන ලාභය......! මිල-මුදල්, යාන-වාහන, ඉඳුම්-හිටුම්, ගරු-බුහුමන් වගේම සැලකිලිත් අපට ඕන තරම් බාහිර ලෝකයෙන් ලැබෙනවනෙ. හතුරකුගෙන් උනත් අපට මේ දෙවල් ලැබෙන්න පුළුවන් මිතුරු වෙසින්. නමුත් සසර පුරාවටම ඔබට ආරක්ෂා, සැපය සලසන උතුම් දහම ආදරයෙන් කියල දෙන්නෙ, ඒ දහම් මගට ඔබව යොමු කරවන්නෙ, ඔබව වරදින් මුදවලා සුමඟට යොමුකරවන්නේ බුදු සසුනක් තුළ පමණක්ම හමුවන ඒ උතුම් කළණමිතුරා ම පමණයි.


කළ්‍යාණමිත්‍රයා කියන්නේ අපට ජීවිතාවබෝධය සඳහා වූ චතුරාර්ය සත්‍ය ධර්මය කියා දෙන, ඒ ධර්මය තුළ අපව පිහිටුවන, වරදින් මුදවන, ධර්ම මාර්ගය කියාදෙන උතුම් පුද්ගලය යි. එවන් වූ කළ්‍යාණමිත්‍රයින් මේ ලෝකයේ අති දුර්ලභ බවමයි උතුම් බුද්ධ දේශනාව. ඉතින් ඒ උතුම් කළ්‍යාණමිත්‍රයින් ඒ විදියට ධර්මය කියා දෙනකොට අපට හැකියාව, උනන්දුව වගේම පින තියෙන්න ඕන ඒ ස්වාක්ඛාත වූ ධර්මය ගැන සිත පහදවාගෙන, නුවණින් කල්පනා කරල, තමා තුළට පමුණුවා ගන්න. අන්න ඒ කෙනා කළ්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් නියම ඵල ප්‍රයෝජන ගත්ත කෙනෙක් වෙනව. බුද්ධ ශාසනයක් තුළ තමාට යමක් කර ගත්ත කෙනෙක් වෙනව…….. ඒ උතුම් කළ්‍යාණමිත්‍රයා නිසාම යි…… ඔහුට - ඇයට පිං සිදුවන්නට.


පවිටු මිතුරු හැම ඇසුරෙන් දුරු වී

කළණ මිතුරු මඟ පෑදේ වා……!!!



Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails