Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Let's Meditate ( part -03)

Sunday, October 18, 2009 , at 12:31 PM

සිහිය පිහිටුවන අරමුණු හා විශ්වාසයේ වැදගත්කම



ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාවනාව පුරුදුවන කෙනෙක්, ආරම්භක අවධියේ දී කුමක් ද කළ යුතු කියන කාරණාව අපි කලින් කතා කළා. මොකක් ද ආරම්භක අවධියේ දී භාවනාව පුරුදු කරන කෙනෙක් විසින් කළ යුතු වන්නේ...? සිහිය උපදවා ගැනීමත් එසේ උපදවා ගත් සිහිය ආරක්ෂා කර ගැනීමත් දියුණු කර ගැනීමත් තමයි භාවනා පුරුදු වන කෙනෙක් ආරම්භක අවදියේදී කළ යුතු වන්නේ. පසුවට කළ යුතු වන්නේ කුමක්ද? ඒත් ඒක ම තමයි සිහිය උපදවා ගෙන උපදවාගත් සිහිය ආරක්ෂා කරගෙන දියණු කර ගැනීම. ඇයි එහෙම කළ යුතු වන්නේ....? භාවනා කිරීමෙන් අපි අපේක්ෂා කරන්නේ, භාවනාව තුළින් සිදු වන්නේ, මොකක් ද..? සිහිය දියුණු වීම. සිහිය දියුණු කිරීම තමයි භාවනාව කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ. ඒ සිහිය දියුණු කිරීමෙන් අපි කරන්න කල්පනා කරන්නේ, සංසාරෙන් නිදහස් වීම නේද?


සංසාරෙන් නිදහස්වීම කියල කියන්නේ් සංසාරෙට බැඳිල ඉන්න ස්වභාවය වළක්වා ගැනීම. නො බැඳි ඉන්නට පුළුවන් ස්වභාවයට පත් වෙන්නටයි අපි සිහිය දියුණු කරගත යුතු වන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සිහිය නැත්තේ යම් තැනක ද එතැන දී සිත විවිධ දේ වල බැඳෙන බව. අපි ඩිංග ඩිංග ඩිංග හරි සිහිය දියුණු කළොත් ඒ බැඳෙන ස්වභාවය අඩුවෙලා යන බව පැහැදිලියි. යම් කලක දී පරිපූර්ණ වශයෙන් සිහිය දියුණු කළොත්, බැඳෙන ස්වභාවය පරිපූර්ණ වශයෙන්ම අවසන් වෙනවා.


එසේනම්, භාවනා කිරීමෙන් අපේක්ෂා කරන්නේ බැඳීම අයින් කර ගැනීම නේද? සංසාරෙට බැඳෙන ස්වභාවය නැති කරගන්න. භාවනාව පරිපූර්ණ වශයෙන් දියුණු කළා කියන්නේ සංසාරෙන් නිදහස් වුණා කියන එක නේ ද?... සංසාර බැඳීමෙන් නිදහස්. එහෙනම් සිහිය පරිපූර්ණ වශයෙන් දියුණු කිරීමෙන් තමයි, ඒක සිදු වන්නේ.කෙනෙක් යම් කලක දී සිහිය පරිපූර්ණ වශයෙන් දියුණු කළා නම්, එදාට එයා ඒ බැඳෙන ස්වභාවයෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වෙලා යනවා. එහෙනම් අපි භාවනා කරන කෙනෙක් විදියට කළ යුත්තේ, සිහිය උපදවාගෙන ඒ උපදවා ගත්තා වූ සිහිය රැක ගනිමින් දියුණු කර ගැනීම යි. ආරම්භක අවදියේ දී අපි මේ කටයුත්ත හරිහැටි නො කළොත්, අපට සාර්ථක ව භාවනාවක් දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ආරම්භක අවදියේ පටන් අප විසින් හොඳින් කළ යුතු කාර්යය තමයි සිහිය උපදවා ගැනීමත්, ඒ උපදවා ගන්නා වූ සිහිය රැක ගනිමින් දියුණු කරගන්න කල්පනා කිරීමත්.


ඒ දේ හොඳට මතක තියා ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනාට එන අදහස තමයි භාවනාව පටන් ගත්ත ගමන් වැඩි වෙලාවක් ඉන්නට ඕන කියන අදහස. ඒ අදහස අතහරින්න. කාලය ගත කිරීම නො වෙයි වඩා වැදගත් වෙන්නේ. ඒකෙන් අදහස් වෙනව ද කාලය ඕනෙ නෑ කියලා. ඒක වරදවල ගන්නත් එපා. මේ විනාඩියක් දෙකක් භාවනා කරල සංසාරෙන් නිදහස් වෙන්න බෑ. විනාඩියක් දෙකක්, විනාඩි පහක් භාවනා කරල සංසාරෙන් නිදහස් වන්න පුළුවන් ද?..... එහෙම බෑ. මේක බහුල වශයෙන් කරන්න ඕන. බහුල වශයෙන් යමක් කරන්න නම් මොකක් ද අපිට තිබිය යුතු සුදුසුකම? ඒක කරන්න පුළුවන් වන්න ඕන. නැත්නම් බහුල වශයෙන් කරන්නේ කොහොමද? මේ විනාඩියක් දෙකක් කරගන්න බැරි මනුස්සයට බහුල වශයෙන් කරන්න පුළුවන් ද? බෑ. එහෙනම් අපි මුලින් ම ටික ටික කර කර පුරුදු වන්න ඕන. ටික ටික කර කර පුරුදු වන්නේ මොකක්ද? සිහිය උපදවා ගැනීම ත්, ඒ උපදවා ගත් සිහිය ආරක්ෂා කර ගැනීමත් තමයි ටික ටික කර පුරුදු විය යුතු. ඒක තමා ටික ටික කර කර පුරුදු වන්නේ. වෙන මොකවත් නො වෙයි. අමුතු ගුප්ත දෙයක් නෑ. තමා තුළ සිහිය උපදවා ගැනීමයි. ඒ උපදවා ගත්තා වූ සිහිය රැක ගනිමින් දියුණු කර ගැනීමයි තමයි භාවනාවෙන් කරන්නේ.


එතකොට ආරම්භයේදී ම භාවනා කරන්න පටන් ගන්නකොට ම එසේ සිහිය උපදවා ගැනීම පිණිස පුංචි උපක්‍රමයක් තමයි මම කලින් කියා දුන්නේ. ඉතින් ඒක පුරුදු කරගන්න. එතකොට අපිට පුළුවන් ඒ විදියට සිහිය උපදවා ගෙන ඒ උපදවාගත්තා වූ සිහිය රැක ගනිමින් දියුණ කර ගන්නට. ඒ සඳහා සුදුසු දහම් කාරණා ඉගෙන ගන්නත් අපිට අවස්ථාවක් ලැබෙයි.


සිහිය දියුණු කිරීම, භාවනාව තුළ සිදු විය යුතු දේ බව අපි තේරුම් ගත යුතු යි. ඊළඟට අපි තේරුම් ගත යුතු දේ තමයි, සිහිය දියුණු කරගන්නේ කුමක් පදනම් කරගෙන ද? යන්න. මොකක් මත ද සිහිය දියුණු වන්නේ? කියන එක. සිහිය දියුණු කරන්න නම් අපිට මොකක් ද උවමනා කරන්නේ? මොකක් මත ද සිහිය දියුණු කරන්නේ...? කියල අපි තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට තෝර බේර ගන්න බෑ. කොහොම ද සිහිය දියුණු කරන්නේ කියල. නැත්නම් සිහිය දියුණු කරන්න බෑනෙ. නේ ද...? කොහොම ද සිහිය දියුණු කරන්නේ....? මොකක් මත ද සිහිය දියුණු කරන්නේ....?


සතිපට්ඨානය මත සතිපට්ඨානයේ සඳහන් සිහිය පිහිටුවිය යුතු අරමුණු පදනම් කරගෙන තමයි සිහිය දියුණු කරන්නේ. වෙන දෙයක් මත නොවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට ඒකයි පෙන්වා දුන්නේ, සතර සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරන්න, සිහිය පිහිටුවා ගන්න පුරුදු කර ගන්න කියල. එතකොට සතිපට්ඨානය තුළ සිහිය දියුණු වෙනවා නම්, දියුණු කරන්නේ එතැන නම් අප තුළ තිබිය යුතු යි සතිපට්ඨානය තුළ සිහිය දියුණු කිරීම පිළිබඳ විශ්වාසය, සතිපට්ඨානය තුළ සිහිය දියුණු කිරීම පිළිබඳ විශ්වාසයක් අප තුළ නැත්නම්, අපිට පුළුවන් ද එතන සිහිය දියුණු කරන්න....?


දැන් අපි මුලින් ඉගෙන ගත්තා භාවනාවෙන් කරන්නේ සිහිය දියුණු කිරීම බව. ඊට පස්සේ අපි තේරුම් ගත්තා සිහිය දියුණු වන්නේ සතිපට්ඨානය තුළ බව ඊළඟ දේ තමයි සතිපට්ඨානය පුරුදු කිරීමෙන් සිහිය දියුණු කළ හැකියි කියල අපි තුළ විශ්වාසයක් ඇති කර ගත යුතු බව. අපිට සතිපට්ඨානය කෙරෙහි බලවත් වූ විශ්වාසයක් තිබිය යුතු යි. සතිපට්ඨානය කෙරෙහි බලවත් විශාවාසයක් නැති කෙනා සිහිය දියුණු කිරීම පිණිස එය අරමුණ කරගෙන භාවනා කරයි ද...? යම් කෙනෙක් තුළ සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් තිබුණොත්, පැහැදීමක් තිබුණොත්, ශ්‍රද්ධාවක් තිබුණොත් අන්න එයා භාවනා කරනවා. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් නැති කෙනා භාවනා නො කර යි ද....? කරනවා. හැබැයි එයා කරන්නන් වාලේ කරන්නේ. එයාට භාවනාව සුවය ඇති කරන එකක් වන්නේ නෑ. එයා ඔහේ කරනවා. එයාට පහසුවක් නෑ. ඇයි? එයාට සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් නැති නිසා.


සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය තියෙන කෙනා, පැහැදීම තියෙන කෙනා, භාවනාව කරදයක් කරගන්නේ් නෑ. එයා ඉතා ම පහසුවෙන් ඒ භාවනාව පුරුදු වනවා. ඒ නිසා අපි සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය පැහැදීම ඇති කරගත යුතු යි. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය, පැහැදීම ඇති කරගන්න කෙනා කලබල වන්නේ නෑ. එයා කම්මැලි වෙන්නෙත් නෑ. දැන් බලන්න, අනවශ්‍ය කලබලයක් බොහෝ අයට තියෙනවා නේද? දැං ඔය මුල් කාලෙ ම පැය ගණන්එක දිගට ඉන්න උත්සාහ කරන්නෙත් ඒක යි. එයාට අනවශ්‍ය කලබලයක් තියෙන්නේ. ඒ අනවශ්‍ය කලබලේ ඉන්නේ ඉවසීම නැති නිසා. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනාගෙ, පැහැදීමක් තියෙන ගෙනාගෙ ස්වභාවය තමයි, එයා තුළ කලබලයක් නැතිකම. ඒ වගේම එයා තුළ කම්මැලිකමකුත් නෑ. එයාට මොකක්ද තියෙන්නේ...? ඉවසීම. සතිපට්ඨානය කෙරෙහි පහදින කෙනාගෙ විශ්වාස කරන කෙනාගෙ එය වටහා ගන්න කෙනාගෙ ස්වභාවය තමයි ඉවසීම. ඇයි, එයාට ඉවසීම තියෙන්නේ? එයාට ඉවසීම තියෙන්නේ? විශ්වාසය පදනම් කරගෙන. සතිපට්ඨානය කෙරෙහි පහදින කෙනාට තියෙන විශ්වාසය මොකක් ද? එයා කලබල නො වන්නේ කුමක් මුල් කරගෙන ද? විශ්වාසය මුල්කරගෙන. මොකක්ද එයා ගේ විශ්වාසය? එයාට විශ්වාසයි බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය එයා විශ්වාස කරනවා. මොකක්ද ඒ අවබෝධය....? ‘ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය’ පින්වත් මහණෙනි, මෙය වනාහී එක ම මාර්ගය යි. මොකක් සඳහා ද? මේ සත්ත්වයන් ගේ පිරිසුදු භාවය පිණිස. දුක් දොම්නස් වලින් අත් මිදීම පිණිස ශෝක කරන ස්වභාවයෙන් නිදහස් වීම පිණිස විශේෂ ඤාණය ඇති කරගැනීම පිණිස. නිවන අවබෝධ කර ගැනීම පිණිස. මේ සියලු දේ සඳහා ඇත්තේ එකම මාර්ගය යි. මොකක් ද ඒ මාර්ගය? සතිපට්ඨානය යි.


එතකොට සත්ත්වයන් ගේ පිරිසුදු වීම පිණිස එක් මාර්ගයක්. දුක් දොම්නස් වලින් නිදහස් වීම පිණිස තව මාර්ගයක්, සෝක තැවීම් වලින් නිදහස් වන්න තව මාර්ගයක්, විශේෂ ඤාණය ඇති කරගන්න තව මාර්ගයක්, නිවන අවබෝධ කරන්න තව මාර්ගයක්, ඒ වගේ මාර්ග ගොඩක් තියෙනවාද?... නෑ. එකම මාර්ගය යි. විශේෂ ඤාණ ඇති කරගන්න. අපි හිතමු සෘද්ධි ආදී දේ ඇති කරගන්න කෙනෙකුට ඕන. දිවැස් නුවණ ඇති කරගන්න ඕන. ආශ්‍රව ක්ෂය කරගන්න ඕන. ඒ ගොල්ලන්ට තව තව දේවල් කරන්න තියෙනව ද?. කෙනෙකුට මේ රාගය දුරු කරගන්න ඕනෑ කියල හිතුණොත්, තව දෙයක් ද කරන්න තියෙන්නේ....? මේ හිතේ තියෙන තැවෙන ගතිය, ශෝක කරන ගතිය දුරු කරන්න කැමැති කෙනකුට වෙන දෙයක් ද කරන්න තියෙන්නේ? මේ හිත පිරිසුදු කරන්න ඕනෑ කියල යම් කෙනෙක් කල්පනා කළොත් එයාට තව දෙයක් කරන්න තියෙනව ද? වෙන දෙයක්ද එයාට කරන්න තියෙන්නේ? යමෙක් හිතුවොත් මට නිවන අවබෝධ කරන්න ඕන කියලා, එයාට වෙන දෙයක්ද කරන්න තියෙන්නේ? නෑ. මේ සියලු දේ සඳහා එක ම මාර්ගය යි, තියෙන්නේ. මොකක්ද ඒ? සතර සතිපට්ඨානය යි.


(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම් දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)
http://www.lakehouse.lk/budusarana/2009/10/17

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails