Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

හුදෙකලාව සුන්දර යි...! (3 කොටස)

Wednesday, October 21, 2009 , at 11:40 AM


හුදෙකලාව සුන්දර යි...!
(3 කොටස )


ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි



දයාබර පින්වත් යාලුවේ,

සෙනෙහස, එහෙමත් නැත්නම් ආදරය, කියල කියන්නෙ මිනිස්සුන් ට හුඟාක් සමීප අද්දැකීමක්. සෙනෙහස මුලු ජීවිතේ ම කරගත්තු උදවියත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. එහෙම නේ ද?

ඒත් ඇත්තට ම හිතල බැලුවොත්, සෙනෙහස හින්ද උපදින්නේ දුකක් ම යි. ඒක ඇත්ත ම ඇත්ත කථාවක්. ඔයා මාත් එක්ක එකඟයි නෙ...?

ඉතින්, සෙනෙහස නිසා දුක උපදිනව කියන ඒ යථාර්ථය හොඳින් ම අවබෝධ කරගෙන, තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවපු තවත් එක පසේ බුදු රජාණන් වහන්සේ නමක් ගැන තමයි අද ඔයා ඉගෙන ගන්නේ. ඒ උත්තමයන් වහන්සේ ගැන අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ ඛග්ග විසාණ සූත්‍රයේ දෙවැනි ගාථාව ඇසුරින්.

දෙවැනි ගාථාව

සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ


ඇසුරු කිරීම නිසා සෙනෙහස හට ගන්නවා. සෙනෙහස නිසා දුක උපදිනවා. සෙනෙහසේ තිබෙන මේ ආදීනවය නුවණින් සළකා බලමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.

මේ ගාථාවේ අතීත සිදුවීම:-

මේ සිදුවීමේ අතීතය ත් කාශ්‍යප නම් වූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය දක්වා ම විහිදිලා යන එකක්. කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය මේ ලෝකයේ විරාජමාන වෙමින් පැවතුනු කාලෙක එක්තරා තරුණයෙක් ඒ බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තා. ඒ ස්වාමීන් වහන්සේ බොහෝ ම හොඳින් සිල් ගුණ දම් රකිමින් අවුරුදු විසිදාහක් ම සසුන් පිළිවෙත් සම්පූර්ණ කළා. ඒ විතරක් නො වෙයි, සමථ භාවනාව දියුණු කිරීම තුළින් මේ ස්වාමීන් වහන්සේට කාමයන් ගෙන් වෙන් වූ, අකුසල ධර්මයන් ගෙන් වෙන් වූ පළමුවැනි ධ්‍යානයත් උපදවාගන්නට හැකියාව ලැබුණා. ජීවිතේ යථාර්ථය අවබෝධ කරන්න ත් හිත යොමු කළාට, මාර්ග ඵල අවබෝධ නො කරම ඒ ජීවිතය හැර යන්නට මේ ස්වාමීන් වහන්සේ ට සිදු වුනා. කලුරිය කළාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නිදා සිටි කෙනෙක් පිබිදෙනවා වගේ බ්‍රහ්මලෝකයේ ඉපදුනා.

ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ගෙවුනට පස්සේ එතැනින් චුත වෙලා බරණැස් නුවර රජකරපු රජ කෙනෙකු ගේ අගමෙහෙසිය ගේ කුසේ තමයි මේ ස්වාමීන් වහන්සේ පිළිසිඳ ගත්තේ. දස මසක් ඇවෑමෙන් පස්සේ බොහොම පින්වන්ත කුමාරයෙක් මේ ලෝකයට බිහි වුනා. මේ කුමාරයා ඉපදුනේ විශේෂ හැකියාවක් ඇතුව. ඒ තමයි පුංචි කාලෙ දි ම මේ කුමාරයාට පුලුවන් “මෙයා කාන්තාවක්, මෙයා පුරුෂයෙක්” කියලා මිනිස්සුන් ව වෙන් කරලා හඳුනා ගන්න.

බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආපු නිසා මේ කුමාරයා කාන්තාවන්ට කොහෙත් ම කැමැත්තක් දැක්වූවේ නැහැ. කිරි අම්මා වරුන් ගේ උණුසුමේ නැලැවෙන එක පවා මේ කුමාරයා ප්‍රතික්ෂේප කළා. ස්ත්‍රියක් තමන් ව ස්පර්ශ කළොත් මේ පුංචි රජ කුමාරයා හඬනවා. වඩා ගන්නවට වත් කැමති නැහැ. මේ නිසා පුරුෂයින් ම තමයි මේ පුංචි පුතා ව පෝෂණය කළේ. මෙයාට කිරි පොවන්නෙත් පුරුෂ වෙස් ගත්තු කිරි අම්මා වරුන් විසිනු යි. ස්ත්‍රියක ගේ කටහඬ ඇහුණත් මෙයා අඬනවා. ස්ත්‍රී ගන්ධයවත් ආඝ්‍රාණය වෙනවාට අකැමැති නිසා මේ දරුවා අනිත්ථිගන්ධ කුමාරයා විදියට ප්‍රසිද්ධ වුනා.

ඉතින් මේ විදියට කාලයක් ගියාට පස්සේ අනිත්ථිගන්ධ කුමාරයා තරුණ වයසට පත් වුනා. ඒ වගේ ම තමන් විසින් පෙර පුරුදු කරන ලද පළමුවැනි ධ්‍යානය උපදවාගන්නට ත් මේ කුමාරයාට පුලුවන් වුනා. තේරෙන වයසට පත් වුනත් ඔහුට ස්ත්‍රින් ව නම් පෙන්නන්න වත් බෑ. කුමාරයාට අවුරුදු දාසයක් වුනා ම පිය රජතුමා කුල පරපුර රැක ගැනීමේ අදහසින් විවිධ පවුල් වලින් ලස්සන ලස්සන කුමාරිකාවන් රජ මාලිගාවට ගෙන්නුවා. ඉන්පස්සේ එක්තරා ඇමතියෙකුට කිව්වා යම් කිසා උපක්‍රමයක් තුළින් මේ අය ගැන කුමාරයා ගේ සිතේ ඇල්ම ඇති කරවන්න කියල.

ඉතින් මේ ඇමතියා් මොකද කළේ, කුමාරයා ඉන්න තැනට නුදුරින් තිරවලින් වටකරපු තැනක අර ගෙන්වපු කුමාරිකාවන් ව තැබුවා. ඉන්පසු ඔවුන් ලවා ඉමිහිරි හඬින් ගීත ගායනා කෙරෙව්වා. මේ ගීත හඬ අනිත්ථිගන්ධ කුමාරයාට ඇසුනා. ඔහු ඇමතියාගෙන් මෙහෙම ඇහුවා.

“ඇමති... මොකක් ද මේ ඇහෙන සද්දේ..?”
“ස්වාමීනි ඔය නාටිකාංගනාවන් ගේ සද්දයක් නෙ... පින්වත් උදවියට ඔය වගේ නාටිකාංගනාවන් පහළ වෙනවා. ඔබ වහන්සේ මහා පුන්‍යවන්ත කෙනෙක්.” ඇමතියා උත්තර දුන්නා.

හැබැයි ඇමතිට සිද්ධ වුනේ වඳින්න ගිය දේවාලේ ඉසේ කඩාගෙන වැටුනා වගේ දෙයක්. ඇයි දන්නව ද? අනිත්ථිගන්ධ කුමාරයා, ගත්ත හොඳ පොල්ලක් අතට. ගැහුව ඇමතිට දුවනකම්ම. ඇමතිතුමත් ගුටිකාගෙන ම රජතුමා ළඟට ගිහින් සිදුවුනු සිදුවීම සැලකළා. ඉතින් රජතුමා කුමාරයා ළඟට ඇවිල්ල ඇමතිතුමා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. ඇමතියාව නැවතත් කුමාරයා ළඟ වැඩ කටයුතු වලට යෙදෙව්වා. මේ වගේ කටයුතු දිගින් දිගට ම සිදු වීම නිසා අනිත්ථි ගන්ධ කුමාරයා ගේ සිත හරි ම පීඩාවට පත්වෙලයි තිබුණේ.

මේ නිසා කුමාරයා උපක්‍රමයක් කල්පනා කළා. රන්කරුවා කැඳවලා ඔහුට රත්තරන් ලබා දුන්නා. ඒ රත්තරන් වලින් ඉතා සුන්දර ස්ත්‍රී රූපයක් නිර්මාණය කරන ලෙස අණ කළා. ඉතින් ඒ රන්කරුව ත් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා නිර්මාණය කළා වගේ, සුන්දර සුන්දර ම දිව්‍යමය රූපයක් වගේ ස්ත්‍රී රූපයක් රන්වලින් නිර්මාණය කරලා කුමාරයාට පෙන්නුවා. ඉන්පස්සේ කුමාරයා තමන් ගේ දෙමවුපියන්ට මේ රූපය පෙන්වලා මෙහෙම කිව්වා.

“මෙන්න මේ වගේ කුමාරිකාවක් ලැබෙනවා නම්, මම පිළිගන්නවා...”

එතකොට රජතුමාත් මෙහෙසියත් මේ විදියට කල්පනා කළා.

“අපේ පුතා මහා පුන්‍යවන්ත කෙනෙක් නෙව. පුතත් එක්ක ම පෙර පින් කරපු කවුරු හරි දැරියක් අනිවාර්යයෙන් ලෝකේ කොහෙ හරි ඉපදිලා ඇති.”

මෙහෙම හිතපු රජ දෙපොල ඇමති වරුන්ට කථා කළා. කථා කරලා රන් රූපය පෙන්වලා මේ වගේ කුමාරිකාවක් සොයා ගෙන එන්න කියා පිටත් කොට හැරියා. ඔවුනුත් ඒ රූපය කරත්තයක තබා ගෙන ගමක් ගමක් ගානේ ඇවිදිමින් කුමාරිකාවක් සොයන්නට පටන් ගත්තා.
මේ ඇමති කණ්ඩායම මොකද කරන්නේ මිනිස්සු එක්රැස්වෙන තැන්වල මේ දෙවඟනක් වගේ ලස්සන ස්ත්‍රී රූපය තියලා වියනක් බැඳලා පැත්කට වෙලා බලාගෙන ඉන්නවා. මේ වගේ රූපයක් තියෙන කුමාරියක් ව යම් කිසි කෙනෙක් දැකලා තියෙනවා නම්, ඒ උදවිය ඒ ගැන කථාවෙයි කියල හිතාගෙන. ඉතින් මේ විදියට මද්ද කියන රටේ හැරෙන්ට අනිකුත් සියලු ම රටවල් වල ඇවිද ඇවිද හොයල බැලුවත් කුමාරියක් ලැබුනේ නැහැ. මද්ද රට කියන්නේ පුංචි රටක් ඒ නිසා ඒ රටට ගියාට වැඩක් වෙන එකක් නැහැ කියල තමයි ඇමතිවරු කල්පනා කළේ. නමුත් ඔවුන්ට මෙහෙමත් හිතුනා.

“මද්ද රටට ගියත් මේ ටික ම තමයි. ඒත් දැන් අපි මද්ද රටට නො ගිහින් ආපහු ගියොත් රජතුමා සමහර විට අපිව ආපහු එවන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ඔන්න ඔහේ ඒ රටෙත් බලලා ම යනවා.”

මේ විදියට කල්පනා කරපු ඇමතිවරු ටික මද්ද රටේ සාගල කියන නුවරට පැමිණියා. සාගල නුවර රජකම් කළේ මද්දව කියන රජතුමා. මේ රජතුමාට අවුරුදු දාසයක් වයස දූ කුමාරියක් හිටියා. ඇය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර යි. දිව්‍යාංගනාවක් වගෙ යි.

ඉතින් එදා ඇමතිවරු ටික අර රන් රූපය සාගල නුවර එක්තරා තැනක තබල බලාගෙන හිටියා. අර රාජ කුමාරිය ගේ දාසියෝ නෑම පිණිස නාන තොටට ගිහිල්ලා ආපසු එන කොට ඈත දී ම මේ රත්තරන් රූපය දැක්කා. දැකල මේ විදියට කථා වුනා.

“අනෙ අම්මේ.. බලන්නකො අපේ ස්වාමිදුව කරල තියෙන වැඩක්.. අපි ව නාන්න පිටත්කරලා තනිය ම ම ඇවිල්ලනේ.”

මෙහෙම කථා වුනු ඔවුන් වහ වහා එතැනට ගියා. නමුත් ළං වෙලා බලපුවා ම තමන් ගේ කුමාරිය නෙමෙයි. ඒ නිසා මෙහෙම කියලා එතනින් පිටත් වුනා.

“අය්යෝ.. මේ අපේ ස්වාමිදුව නෙමෙයි නෙ. අපේ ස්වාමි දුව මීට වඩා කොච්චර ලස්සන ද?”

මේ කියපු කථාව ඇමතිවරුන්ට අසන්ට ලැබුනා. ඔවුන් මද්දව රජතුමා ළඟට ගිහිල්ලා තමන් පැමිණි කාරණය පවසලා, දූ කුමරිය ඉල්ලා සිටියා. මද්දව රජතුමා ත් ඒ යෝජනාවට කැමති වුනා. ඉන් පස්සේ ඇමතිවරු බරණැස් නුවරට පණිවිඩයක් යවලා විමසා සිටියේ ‛කුමරිය ව කැඳවාගෙන එන්නට පැමිණෙනවා ද, එහෙමත් නැත්නම් ඔවුන් ම ඇය ව කැඳවාගෙන එන්න ද?’ කියා යි. සිදු විය හැකි අපහසුකම් ගැන හිතපු බරණැස් නුවර රජතුමා ඔවුන්ට ම කුමරියව කැඳවාගෙන ඒමේ අවසරය ලබා දුන්නා. ඇමතිවරු රජකුමරිය ව කැඳවාගෙන එන ගමන් ම අනිත්ථිගන්ධ කුමාරයාට රන්රුව වැනි කුමාරිකාවක් හමුවූ බව දන්වලා පණිවිඩ යැව්වා. මේ පණිවිඩය ඇසූ සැණින් කුමාරයා ගේ සිත තුළ ධ්‍යාන සමාපත්ති බලයෙන් යටපත් කරල තිබුණු රාගය ඉස්මතුවුනා. පළමුවැනි ධ්‍යානය ද පිරිහී ගියා. ඔහු නැවත පණිවිඩ කරුවන් අත කියා යැව්වේ ඉතා ඉක්මණින් කුමරිය ව කැඳවාගෙන එන ලෙස යි.

(මතු සම්බන්ධ යි..)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails