Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

දැන්වත් බිමින් තියමුද ඔය 'හණ මිටිය'..... (ගෞතම සංදේශය 05)

On Wednesday, December 2, 2009



'හණ මිටි කාරයො' කියන අය ඕනම සමාජයක ඕන තරම් ඉන්නවනෙ. නිතරම වගේ හමුවෙනවත් නෙ. සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වන්නෙ යල් පැනගිය, නැත්තං තේරෙන් බාසාවෙන් කිව්වොත් 'expired' අදහස් තියෙන, ඒවායෙම ඉල්ලීගෙන ඉන්න, ඉන් බැහැර කිසිම දෙයක් මොනම හේතුවක් නිසාවත් නොසලකන, පුහු මාන්නය වගේම මෝඩකම නිසා සිතීමේ ශක්තිය හීනවීමෙන් මනෝඅන්ධ භාවයට පත් වුන, අනුකම්පා ලැබිය යුතු අසරණ පිරිසක්. බටහිර අධිරාජ්‍යවාදී ගැති පසුබිමක් මත බිහිවූ ලාංකීය වලව් පැලැන්තියේ අවසාන පුරුක් මෑත ඉතිහාසයෙන් ගෙන හැර දක්වන්න පුලුවන් ප්‍රබල උදාහරණයක්. ගෞතම සංදේශයෙන් අද කතාබහට ලක්වෙන්නේ බුදු සසුනක් තුලදී අපට හමුවෙලා තියෙන මෙවැනිම පිරිසක් ගැන. අමතක කරන්න එපා...... ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඕපනයිකයි. තමා තුළට පමුණුවාගෙන දැකිය යුතු ධර්මයක්. තමුන් ඉන්න තැන තමුන්ටම බලා ගත හැකි වේවි අනිත් අයට ඇඟිලි දික් කරන්න කලින්. මොකද බුදුන් වහන්සේ වදාළේ මේ ධර්මය තමාව දකින කැඩපතක් කරගන්න කියල යි.


හුඟ දෙනෙක් මේ වහරට මුල් වුන කතාවත් නොදන්නවා වෙන්න පුළුවනි..... ඔන්න යාළුවො දෙන්නෙක් දුර ගමනක් යනවා 'හණ මිටි' දෙකක් කරේ තියාගෙන​. ටික දුරක් යනකොට මේ දෙන්නට හමු වෙනවා තඹ ගොඩක්. එක්කෙනෙක් හණ මිටිය විසිකරල තඹ මිටියක් බැඳගෙන කරතියාගන්න අතරෙ අනිත් කෙනා කියනවා මම කරතියාගෙන ආපු හණ මිටිය මට හොඳයි කියලා. ඉතින් එතනින් පිටත් වෙලා ටික දුරක් යනකොට හමු වෙනවා රිදී ගොඩක්. තඹ මිටිය කර තියාගෙන ඉන්න කෙනා ඒක අතෑරල රිදී මිටියක් බැඳගෙන කරතියා ගන්නවා. අනිත් යාළුවා තාමත් හණ මිටිය කරගහගෙන යනවා. තව දුර යද්දි මෙයාලට මුණගැහෙනවා රත්තරං ගොඩක්. රිදී මිටිය කරේ තිබුනු කෙනා ඒක අතෑරලා ලොකු රත්තරං මිටියක් බැඳල කරතියා ගන්නවා. ඒ අතරෙ අනෙක් යාළුවා ගැන අනුකම්පාවෙන් කියනවා දැන්වත් ඔය හණ මිටිය විසිකරල රත්තරං මිටියක් බැඳගන්න කියලා. ඉතින් එයා කියනවා රත්තරං නම් වටිනවා තමයි. ඒත් මම මෙච්චර දුරක් කරතියාගෙන ආපු මේ හණ මිටිය අතාරින්නෙ කොහොමද කියලා ඒකම කරතියාගෙන යනවා...... ඉතින් බලන්න යාළුවනේ, දෙන්නා ලඟම මුලින් තිබුනේ හණ මිටි. නුවණ තිබුන කෙනා හරි දේ, වටිනා දේ හමුවෙනකොට නුවණ පාවිච්චි කරල ඒ දේ අල්ලගන්නවා. අනුවණ​, මෝඩ, මාන්නක්කාර කෙනාගේ ඉරණම නම් ඇත්තටම සෝචනීයයි. ඔන්න ඔය විදියට තමයි 'හණ මිටි කාරයා' අපේ ජනවහරට එකතු වුනේ.


මේ පුංචි මුතු ඇටයේ සිංහ ලේ තියෙන මව් පිය දෙපලකට දාව මේ වගේ කාලෙක මිනිස් උපතක් ලබන්න අපිට තිබුනු වාසනාව​, පින ප්‍රමාණ කරන්න බැහැ. ඒක මේ උතුම් ධර්ම ලාභය ලැබුනු අපට වගේම ඔයාලටත් ඒ ආකාරයෙන්ම දැනෙනවා ඇති. ඒත් අපි පහු කරල තියෙන මේ රටේ මෑත ඉතිහාසය නම් ඒ තරම් වාසනාවන්ත වුනේ නැහැ. පහුගිය අවුරුදු 500-1000 පමණ හරිම අවාසනාවන්ත​, අඳුරු කාලපරිච්ඡේදයක් අපි පහු කරලයි ඉන්නේ. ඒ නිමල බුදු දහම මුළු දඹදිව් තළයෙන්ම වියැකිලා ගියා. මුළු ආසියාකරයෙන්ම ත්. ඒත් මේ පුංචි බිමේ එදා වැඩ හිටි ඒ අසිරිමත් රහත් මුනිවරු අනාගත පරපුර උදෙසා සිදු කළ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඒ මහා පුණ්‍ය කටයුත්ත නිසා අදටත් අපි ඒවායින් අමිල ප්‍රයෝජන ගන්නවා. අද ඒ දේවල් එහෙමෙ සිද්ධ වුනත් එදා ඒ රහතුන් ගේ යුගයෙන් පස්සේ ධර්මය යට ගියා. පොත් වලට පමණක්ම සීමා වුනා. අධර්මය ශීඝ්‍රයෙන් පැතිරෙන්න වුනා..... ධර්මයේ නාමයෙන්. අවාසනාවට ඒක සිද්ධ වුනේ සසුන් ගත වුන චීවරධාරීන් අතින්මයි. අදටත් අපි ඒ දේවල් අත්දකිනවනේ. ඉතින් ඒ විදියට අධර්මය සමාජගත වෙද්දි මිනිස්සු හිතුවේ ඒ තමයි ධර්මය කියලා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අධර්මයම සරණ ගියා. හණ මිටියම කරතියාගෙන ආවා. ඒත් අපි තාමත් පිංවන්තයි. අපිට රත්තරං හමුවෙලා තියෙනවා. ඒ කිව්වේ අපිට ශ්‍රී මුඛ බුද්ධ වචනය හමුවෙලා තියෙනවා. ඒ උතුම් ධර්මය අපට දැන් විවර වෙලා තියෙනවා. ඉතින් තවත් ඇයි මේ හණ මිටි කරගහගෙන​....?


අපි හැමෝම 'කඩය'​ ක හිමිකාරයෙක්. ඒ තමා වේලපත්කඩය​.... උපතින්ම බෙල්ලේ බඳින කේන්දරය. නැත්තං හඳහන​. මේ තරම් පිරිසිදු ධර්මයක් ලැබිලා තියෙන වෙලාවෙ බමුණන්ගෙන් ලැබුනු මේ 'අධර්මය​', මේ 'හණ මිටිය' අතහැරගන්න බැරුව කීදෙනෙක් නම් නිරයගාමී කර්ම රැස්කරනවද? නිකමට හිතලා බලන්න ඔබ සරණ ගිහිල්ලා තියෙන්නේ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයද නැතිනම් අර ප​ෘථඃජන බමුණගෙ කේන්දරේද කියලා. මේ මිනිස්සු සරණ ගිය තවත් අධර්මයක් තමා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ඔලුගෙඩි වලට රිංගවපු 'ප​ෘථඃජන විද්‍යාව​'. බලන්න අද කී දෙනෙක් මේ අන්ධබාල විද්‍යාව සරණ ගිහිල්ලා ධර්මයට ගරහනවද කියලා. මාන්නය වගේම මෝහය නිසා හරි දේ දැක දැක වැරදි දේම එල්ලිලා ඉන්නවද කියලා. බුදු නුවණින් අවබෝධ කරල උගන්වන දේවල් මේ මොන්ටිසෝරි විද්‍යාවෙන් හොයාගන්න කල් අද කී දෙනෙක් කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවද​...? ඔහොම නෙවෙයි අහසෙ සක්මන් කරන තත්වෙට ඔය කියන විද්‍යාව දියුණු වුනත් මේ උතුම් ධර්මය ඔය විද්‍යාව තුලින් දකින්න බැහැ. ඒක සිද්ධ නොවෙන දෙයක්. අපි මේ කතා කලේ අපට පැහැදිලිවම පේන​, පහසුවෙන් තේරුම් ගන්න හැකි, බොහෝ අයට බලපාන උදාහරණ දෙකක්. මේ වගේ තවත් කොයිතරම් නම් අසාර දේවල් තුල මිනිස්සු හිර වෙලා ඉන්නවද​....


තව දෙයක් තමයි හරි ධර්මය වුනත් හරි විදියට ඉගෙන ගත්තෙ නැති වුනාම ඇති වෙන ගැටළු. උදාහරණයක් විදියට මෛත්‍රී භාවනාව​....... අපි පුංචි කාලෙ ඉඳල ඉගෙනගෙන තියෙන විදිය තමයි 'සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා......’ ආදී වශයෙන්. අපි ගිය පාසලේ වගේම දහම් පාසලෙත් ඉගැන්නුවෙ මේ විදියටනෙ (බහුතරයක්). නමුත් ඒ විදියෙ මෛත්‍රී භාවනාවක් බුද්ධ දේශනා වල සඳහන් වෙන්නෙ නැහැ. ඒක වැරදියි. ඉතින් ඒ උතුම් පිරිසිදු බුද්ධ දේශනා කියවලා ඒවායෙ තියෙන හරි දේවල් හරි විදියට අපට ඒ කළ්‍යාණමිත්‍රයන් විසින් කියලා දෙනකොට ඒ දේවල් කරුණු සහිතව විමසලා බලලා පිළිගන්න තරම් අපි නිහතමනී වෙන්න ඕන නේද​...... අපි ධර්මය තුලින් බලාපොරොත්තු වෙන්නෙ අපේ ගුණධර්ම දියුණු කරගෙන නිවන් මඟ තුල හික්මෙන්න නේද​.....


බොහෝ දෙනෙක් කරන්නේ තමුන් දන්න දේට, ඉගෙනගෙන තියෙන දේට වඩා වෙනස් දෙයක් කවුරුහරි කිව්වම ඒකෙ හරි වැරැද්ද නුවණින් විමසලා බලන්නෙ නැතුව පුහු තර්ක​, විවාද ගොඩනගාගෙන ඒ මත්තෙ ගැටෙන එකනෙ. ඉතින් ඒ කෙනාට හරි දේ, වටිනා දේ අල්ලගන්න බැරුව යනවා. මඟ හැරෙනවා. ඉතින් මේ විදියට මුළු ජීවිත කාලයේම පුහු මත ගොඩක හිරවෙලා, හරි දේත් එක්ක ගැටෙමින් ඉඳල අන්තිමට හිස් පුරුෂයෙක් වගේ හිස් අතින්ම මැරිලා යනවා. ඉන් පස්සෙ සිද්ධ වෙන දේ ගැන ඉතින් 'බෞද්ධ' ඔයාල දන්නවනෙ.


ඉතින් තවදුරටත් හණ මිටිය කරේ තියාගෙන යනවද නැත්තං රත්තරං අරගෙන යනවද​.....? තීරණය බුද්ධිමත් ඔබ අතේ....... හැබැයි පෙරහැර යන්න කලින්.


'ගෞතම සංදේශය'
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​.....




ඔබ ස්වාධීන වීමට කැමැති ද?

On




අප අපගේ ක්‍රියා පිළිබඳ අවධානයෙන් කිළිටි ක්‍රියාවලින් මිදී ගත කරනවා නම් මේ පසුතැවිල්ල, කනගාටුව අපේ ජීවිතවලට එන්නේ නැහැ. කිළිටි බවින් තොරවීම ම යි ජීවිතයක අභිමානය. මේ අභිමානය පිළිබඳ අදහස් කුඩා කල පටන් ම දරුවන් තුළ වර්ධනය කළ යුතු යි. මෙතැන දී තමයි ධර්මයේ වැදගත් බව ඉස්මතු වන්නේ. මේ සඳහා මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ධර්මය ගැන මුල් ම පැහැදීම තිබීම අවශ්‍ය වන්නේ මවුපියන් අතර යි.


වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

අප සමාජයේ කුඩා දරුවන් පවා දැන් පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස හැසිරෙන්නට පටන් අරන්. මා ඔබට කියන්නම් මෑතක දී සිදු වූ අපූරු සිදුවීමක් ගැන. මේ සිද්ධියට සම්බන්ධ වූ දියණියගේ වයස අවුරුදු දහතුන යි. ඈ පාසලේ හත්වැනි වසරේ දරුවෙක්. ඈ වැලන්ටයින් දිනයේ දී පේ‍්‍රමවන්තයකුට ලිපියක් ලිව්වා. මුද්දකුත් සොයා ගත්තා. පෙම්වතා ගේ වයස අවුරුදු දාහතරයි. ඉතින් මේ දුව මේ මුද්ද අර පෙම් ලිපියේ දවටලා විසිතුරු විදියට සරසලා පෙම්වතාට දුන්නා. මේ දෙන්නාට ම රක්ෂණ මාර්ගයක් නැහැ. කුඩා ළමයි. හරි ම බොළඳ හැඟීම් සමුදායක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ. හැබැයි මෙහෙම කාලය ගත වෙද්දී අර දූට අවුරුදු පහළොව විතර වන විට මේ සම්බන්ධයේ ඇති අරුත් සුන් බව ඈට වැටහෙන්නට පටන් ගත්තා. ඈ පෙම්වතාට කරුණු පැහැදිලි කරන්නට වුණා. ‘අපි තවමත් ඉගෙන ගන්න වයසේ. අපි දැන් කළයුතු අධ්‍යාපන කටයුතු කර ගැනීමයි’. ආදී වශයෙන් ඈ කරුණු ඉදිරිපත් කළා. ඒත් මේ පුතා තීරණය කළා තවදුරටත් තමා ජීවත් වීමෙන් පලක් නැතැ යි කියා. මේ විදියට ඔහු තීරණයකට ආවා සිය දිවි නසා ගැනීමට. ඒ වෙනකොට ඔහු ගේ වයස දාහතක් විතර ඇති.

දැන් ඔහු වහ බෝතලයකුත් සපයාගෙන බොන්නයි සූදානම. මේ වෙනකොට ඔහු ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම කඩාකප්පල් වෙලා ඉවරයි. ඊට මුළුමනින් ම හේතු වුණේ මේ පේ‍්‍රම සම්බන්ධ යි. ඔහු ඇත්තට ම ජීවිතේ වරද්දා ගත්තා. හැබැයි හොඳ වෙලාවට ජීවිතය හානි කර ගැනීම ඥාතියකු නිසා මඟ හැරුණා. අප අවසාන වශයෙන් ඒ දරුවා පුනරුත්ථාපනය කළා.

දැන් වෙලා තියෙන්නේ අවුරුදු දොළහ, දහතුන වෙද්දී තමන්ට ‍ෙපම්වතකු හෝ පෙම්වතියක අවශ්‍යයි කියා මතයක් දරුවන් අතරට ගිහින්. මෙය මහ පුදුමාකාර අදහසක්. තමන්ට පේ‍්‍රමවන්තියෙක් නැතිනම් එය අසම්පූර්ණ අංගවිකල ජීවිතයක් ය වැනි ආකල්පයක් මේ කුඩා දරුවන් අතර ප්‍රචලිත කරවලා.

ඇත්තට ම මේ කාලය තමා මේ දරුවන් යහපත් පුරවැසියන් ලෙස සකස් වීමට සුදුසු කාලය. දැන් අපි බලමු එවන් යහපත් ජීවිතයකට අවශ්‍ය වැදගත් කරුණු ගැන. අධ්‍යාපනය, ඉන්ද්‍රිය දමනය, සිල්වත් බව, සංවර බව, දුරදිග කල්පනා කිරීමේ හැකියාව වැනි වැදගත් කරුණු ජීවිතයක කුඩා අවදියේ දී ම ලැබුණොත් ඒ ජීවිතය උදාර බවට පත්වෙනවා. මේ සියලු අංග වර්ධනය කරගත යුතු කාලය පේ‍්‍රම බන්ධනයකින් වැසී ගිය විට ජීවිතයම අවුලක්.

සිය දරුවන් ගේ ජීවිතවලට ධර්මය ලබාදීමට සෑම මවුපියන්ම උත්සුක විය යුතු යි. ඇත්තට ම මේ කාරණාව ගැන දැන් සමාජයේ තැකීමක් නැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම භාෂා ඤාණය ලබාදීම වැනි කාරණා මෙන් ම නිසි වයස එළැඹි විට ඔවුන්ට රැකියා සපයා දීම, විවාපත් කරදීම වැනි කරුණු කෙරෙහි ම පමණයි මවුපියන් ගේ අවධානය යොමු වී තිබෙන්නේ. මේ සියලු කාරණා ගැන වෙහෙසෙන අතර මවුපියන් දරුවන් ගේ ජීවිතාභිවෘද්ධියට අදාළ ම කාරණාව අතපසු කර දමනවා. මෙහි භයානක ප්‍රතිපල දැනටමත් අපට පැහැදිලි ව පෙනෙන්නට තිබෙනවා නො වේ ද?

මම හොඳට ම දන්න කාරණාවක් කියන්නම්. දැන් බටහිර රටවල තත්ත්වය මොන වගේ ද කියලා බලන්න. ඒ රටවල ධර්මය නැහැ. දරුවන් ගේ ජීවිතවලට ධර්මයේ පිහිටක් ලැබෙන්නට පරිසරයක් නැහැ. ඒ දරුවන් කුඩා වියේ පටන් ම වැඩිහිටියන් මෙන් ජීවිත ගත කරන්නට යොමු වෙලා.

කැනඩාවේ සිද්ධියක් මම කියන්නම්. එහි තිබෙනවා අසාර්ථක වූ ජීවිත ගොඩනැංවීමේ පාසල්. මේවා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වගේ. මේ වගේ පාසල්වල ඉන්න දරුවන්ගේ වයස අවුරුදු දහතුන දාහතර වගේ අය යි. මෙවැනි දරුවන් තමන් ගේ දරුවන්වත් වඩාගෙන පන්ති එනවා. ඒ කියන්නේ පාසලේ හත්වැනි, අටවැනි ශ්‍රේණිවල දරුවන්. මේ රටවල දරුවන් බොහෝ විට වයස අවුරුදු දහතුනින් පමණ නිවෙසේවලින් පිටවුණා ම ඉන්පසු ඒ අයට මවුපියන් ගේ් බලපෑමක් නැහැ. බොහෝ දරුවන් මේ විදියට සිය නිවෙස්වලින් පිටවුණා ම ආයෙමත් යෑමක් සිදුවන්නේ නැහැ. මිත්‍රයන් ගේ ගෙවල්වල එහෙම නැවතිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය ජීවිත ගත කරනවා. ගෙදරින් පිටවුණාම පසු මවුපියන් යළි ඒ දරුවා පිළිගන්නෙත් නැහැ. මේ වයසේ දී මේ දරුවන් තම ජීවිකාව උපයා ගත යුතුයි. නො එසේ නම් රැකියාවක් සොයා ගත යුතුයි. මේ අය ඉගෙන ගන්න අතරතුර රැකියාවකුත් කරනවා. මේ වයස වෙද්දී මේ සමහර දරුවන්ට දරුවන් දෙන්නකු ම ලැබිලා. මේ බාල වයසේ දී කුලියට කාමරයක් අරගෙන ඒ කුලී මුදලුත් ගෙවාගෙන, පාසල් යන අතරවාරයේ අමතර රැකියාවකුත් කරමින්, දරුවන් දෙදෙනකුත් රක්ෂා කළ යුතුයි. ඇතැම විට මවුපියන් තරයේ අදහාගෙන සිටිනවා, වයස අවුරුදු පහළොවෙන් පසු දරුවන් වෙන් ව ජීවත්විය යුතුයි කියා. ඉන්පසු දරුවන් ගැන මවුපියන් ගේ වගකීමක් නැහැ. අවුරුදු පහළොවෙන් පසු දරුවා නිදහස්. මවුපිය බැඳීම් නැහැ. එවැනි දරුවකුට ඒ වයස වන විට පෙම්වතකු හෝ පෙම්වතියක සිටිය යුතු ම යි කියා ඒ සමාජය සලකනවා. එහෙම පේ‍්‍රමවන්තයෙක් නැතිනම් මවුපියන් දරුවා මනෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යනවා. පේ‍්‍රමවන්තයකු හෝ පේ‍්‍රමවන්තියක නොමැති වීම රෝගයක් කියා යි ඒ සමාජය කල්පනා කරන්නේ.

මේ තත්ත්වයට පත් වූ සමාජයක් මොන තරම් භයානක ද? මෙවැනි සමාජයක නායකත්වයට සුදුසු ලක්ෂණ මතු වේ යැයි සිතන්නේ කොහොම ද? මේ නිසා අප විසින් අවධාරණයෙන් ම වටහා ගත යුතු යමක් තිබෙනවා. එනම් බාල වයසේ සිට ම දරුවන් තුළ සිල්වත් ජීවිතයක් ගත කිරීමේ ඇති වටිනාකම පිළිබඳ අදහස් ස්ථාපිත කළ යුතු යි යන්න යි. වාගේ ම මේ වයස්වල දරුවන් ආගමික කටයුතුවලට සම්බන්ධ කරවා ගැනීම ඉතා වැදගත්. එවැනි දරුවන් හරි ම චරිතවත්.

මනුෂ්‍යයා කිලිටි වන්නේ මනුෂ්‍යයා ගේ ම ක්‍රියා නිසා. මනුෂ්‍යයා පිරිසුදු වන්නේත්, මනුෂ්‍යයාගේ ක්‍රියාව නිසා ම යි. කිළිටි ක්‍රියා හේතුවෙන් හිරගෙවල්වල ලගිනවා. මුළු ජීවිතයට ම අර්බුද හදා ගන්නවා. කිළිටි දේ හේතුවෙන් ජීවිතයට ම පසු තැවෙන දේ සිදු කර ගන්නවා.

අප අපගේ ක්‍රියා පිළිබඳ අවධානයෙන් කිළිටි ක්‍රියාවලින් මිදී ගත කරනවා නම් මේ පසුතැවිල්ල, කනගාටුව අපේ ජීවිතවලට එන්නේ නැහැ. කිළිටි බවින් තොරවීම ම යි ජීවිතයක අභිමානය. මේ අභිමානය පිළිබඳ අදහස් කුඩා කල පටන් ම දරුවන් තුළ වර්ධනය කළ යුතු යි. මෙතැන දී තමයි ධර්මයේ වැදගත් බව ඉස්මතු වන්නේ. මේ සඳහා මවුපියන්ට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ධර්මය ගැන මුල් ම පැහැදීම තිබීම අවශ්‍ය වන්නේ මවුපියන් අතර යි. වැලන්ටයින් දිනයේ දී රෝස මලක් ත්‍යාග කිරීම වැදගත් කොට සලකනවා නම්, මෙන්න මේ ධාර්මික අවබෝධය ම යි ඉතා වටිනා රෝසමල විය යුතු වන්නේ.

ඒ වාගේ ම මේ දිනයේදී රෝස මලක් වෙනුවට ධම්මපදය වැනි පොතක් සිය පෙම්වතාට හෝ පෙම්වතියට තෑගි කරන්නට හැකි සමාජයක් අප ඇතිකරගත යුතුයි. යුරෝපීයයන්ට ධර්මය නැති වුණාට අපට පැහැදිලි පදනමක් ඇති දහමක් තිබෙනවා. මේ කාරණාව අප පැහැදිලිව වටහා ගත යුතු යි.

පේ‍්‍රමවන්තයන් අතර වටිනා දහම් පණිවිඩ හුවමාරු කරගත හැකි නොවේ ද? දහම් පණිවිඩ කී පමණින් කෙනකු මෙය වරදවා වටහා ගත හැකි යි. දහම් පණිවිඩයක් යනු වයස්ගත උපාසකයන් ගේ යමක් යැයි සිතා ගත යුතු නැහැ. අප දැන් හැම විටම විශේෂ යමක් කියා සිතන්නේ ම බටහිර ජාතිකයකු ගේ කියමනක් හෝ ප්‍රකාශයක් පමණ යි. පඬි වදනක් වන්නේත්, එවැනි විදේශිකයකු ගේ කියමනක් ම යි.

අප පඬි වදන් හැටියට තෝරන්නේ ම විදේශිකයන් ගේ පොත්වලින් උපුටා ගන්නා කුඩා පාඨ නොවේ ද? එතකොට පඬිවරුන් බිහිවන්නේ බටහිරම ද? පෙරදිගට බැහැ ඒ කියන්නේ පඬිවරුන් බිහි කරන්නට? පඬිවදන් ලියැ වී තිබිය යුතු ඉංගී‍්‍රසි බසින් පමණ යි ද?

මේ අතර අප වටිනා දහම් පාඨයක් ඉදිරිපත් කළහොත්, එය වයසක අප ගේ වැඩක් වෙනවා. ඒත් මේ දහම් පාඨ, දහම් පණිවිඩ ආදිය, අප භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ අසමසම ප්‍රඥාවෙන් ලෝකාවබෝධයෙන් යුතු ව ඉදිරිපත් කළ ප්‍රකාශ යි. මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට තවත් බුදුවරයකුටම හැර වෙනත් කිසිවකුට හැකියාවක් නැහැ. මේ ප්‍රකාශවලට ම යි, ජීවිත සුවපත් කළ හැකි වන්නේ.

වැලන්ටයින් දිනය සමරනු කැමැති වූ දරුවන්ට ඉතා වැදගත් ප්‍රකාශයක්, ධර්මය ඇසුරින් ගෙන හැර දක්වන්නට මම කැමැතියි. දැන් අපට පෙනෙනවා, සංසාරගතව ම එන සබඳතා තිබෙන බව ඇතැම් අය අතර. මෙවැනි අය, මේ ජීවිතයේදීත් මුණ ගැසෙනවා. පේ‍්‍රමණීය සබඳතා ගොඩනගා ගන්නවා.

මෙවැනි එක් උදාහරණයක් තමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ගිහි ජීවිතයේ දීත් අපට හමුවන්නේ. ඇත්තට ම මේ විදියට දෙදෙනෙක් එක් වන්නේ් කලාතුරකින්. මේ දෙදෙනා ම පින්වන්තයන්. එහි අදහස සමානව පින් කළ අය බව යි. මෙවැනි දෙදෙනකු ඇතැම් විට මවුපියන් ගේ යෝජනා කිරීමක් අනුව එක්තැන් වෙනවා.

දැන් බලන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහොම රූප සම්පත්තියෙන් යුතු වූ කෙනෙක්. උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරන විට මවුපියන් විවාහයක් පිළිබඳ යෝජනා කරන්නට පටන් ගත්තා. ඒත් මොහු ගේ කැමැත්ත වූයේ විමුක්තිය සොයා යෑමට යි. දැන් මේ තරුණයා කල්පනා කළා මේ විවාහ යෝජනාවලින් ගැලවී සිටීමට හැකි මඟක්. මෙසේ සිතා මොහු ඉතා ම ලස්සන රුවක් තැනෙව්වා. මේ ආකාරයේ රූපයක් ඇති තරුණියක පමණයි මා විවාහ කර ගන්නේ කියාත්, කීවා. ඔහු සිතුවේ මෙවැනි රුවක් ඇති ළඳක් සොයා ගත හැකි නො වන බව යි.

ඒත් මේ ආකාර රුව ඇති තරුණියක් සොයා ගැනුණා. ඉතින් ගැලවීමක් නැති තැන විවාහ විය යුතු ම තැනට කටයුතු යෙදුණා. මේ දෙදෙනාට කතිකා කර ගැනීමටත් මවුපියන්ගෙන් ඉඩ ලැබුණා. තිප්පලී කුමාරයා තමා එතුමාගේ ගිහි නම වුණේ.

ඉතින් මේ කුමාරයා තමා ගේ මනමාලිය වීමට නියමිත භද්දකච්චානාට මෙසේ කීවා. විවාහ ජීවිතයට මගේ කිසි කැමැත්තක් නැහැ. මට අවශ්‍ය විමුක්තිය සොයා යෑමට. මා බ්‍රහ්මචාරී ව සිටින කෙනෙක්’.

එවිට ඒ කුමාරිකාවත් මෙසේ කීවා. ‘අයියණ්ඩි, මාත් විවාහ දිවියකට කිසි කැමැත්තක් නැහැ. මාත් බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක්’.

මෙයින් පසු මේ දෙදෙනා තීරණයකට ආවා. එනම්, තමන් විවාහ විය යුතු බව යි. විවාහවීමෙන් පසු ද බඹසරව ජීවත් වීමට තීන්දු වුණා. දෙදෙනා විවාහ වූ පසු මේ අය සැතපෙන යහන මැදින් මල් මාලයක් තබනවා. එක් අයකු ගේ හෝ සිතක රාගී සිතිවිල්ලක් පහළ වුවහොත් මල් මාලය පර වන බවට ශපථ කළා. ඒත් විමුක්තිය සොයා යන තුරු ම ඒ මාලය පරවුණේ නැහැ. බලන්න මෙවැනි උදාර චරිත ඇති අය මේ සමාජයේ සිටියා. මේ සසර ගමනේ දී ඇතැම් අය මේ වගේ පින් පුරවාගෙන එනවා. මෙවැනි පින්වන්තයන් ඇතැම් විට මේ ජීවිතයේ දී එක්වන්නටත් පුළුවන්.

බුද්ධ කාලයේ විසූ නකුල මාතා, නකුල පිතා යන දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවට විත් සැළ කර සිටියා, ඒ දෙදෙනා යළි සංසාරයේ දී මුණ ගැසීමට කැමැති බව. එවිට බුදුරජාණන් වහන්සේ පැවසුවා ‘හොඳයි එසේ නම් ඔබ දෙදෙනා සමාන ශීල, ත්‍යාග, සද්ධා, ප්‍රඥා ඇතිකරගතහොත් මේ අදිටන සපුරන්නට ඔබට හැකියාව ලැබේවි කියා. මේ විදියට මේ ගුණයන්ගෙන් සමාන අය සමාජයේ සිටින්නට පුළුවන්. ඒ සමානත්වය හේතුවෙන් ම ඔවුනොවුන් කෙරෙහි සෙනෙහෙවන්ත වන්නටත් පුළුවන්. මෙය ඇත්ත වශයෙන් ම වාසනාවන්ත බැඳීමක්. මෙවැනි අයට ලෞකික ජීවිතයක් සාර්ථක කරගෙන, කුසල් වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒත් සමහර පේ‍්‍රම සබඳතා ඇති වන්නේ, විඳවීමට මයි. මෙවැනි අය සම්බන්ධ වූ දා පටන් ම නොගැලපීම්, ගැටලු මතු වනවා. ඒත් මේ සියලු ගැටලු අතර පවා මේ දෙදෙනා වෙන් වන්නේත් නැහැ. පීඩාවට පත් වෙමින්, ඒත් වෙන් නොවී ජීවත් වනවා. මේ විඳවීම සිදුවන්නේ, පෙර පවක් නිසයි.

ඇත්තටම තමන් සංසාරේ ගතකළ ජීවිත අනුව රැස් කර ගත් දේ, මේ ජීවිතයට ඒ ඒ ආකාරයට බලපෑම් ඇති කරනවා. මෙවැනි දේට බිය වූ විට යි විවාහයට පෙර පොරොන්දම් බලන්නේ. ඒත් පොරොන්දමට බැහැ විවාහ ජීවිතයක් සාර්ථක කර දීමට. ඒත් ධර්මයට හැකියි එය කිරීමට. කිසියම් දෙදෙනකු සමාන ශීල, සමාධි, ප්‍රඥාවලින් යුතු වීමෙන් ම යි, මෙය සිදුකළ හැකි වන්නේ.

දරුවන් නිසා, වෙනත් සමාජ බැඳීම් නිසා, කිසියම් විවාහයකින් පසු නොගැළපීම් ඇතත් අභ්‍යන්තර විඳවීම් මැද ජීවත් වන පුද්ගලයන් බොහෝ සිටිනවා. ඒත් මේ සියලු අයට පිළිසරණ, ධර්මය ම යි. විවාහ ජීවිතයේ දී සැප උදා කර ගැනීමට නම්, ජරාවට පත්වන තුරු ම ශීලයෙන් යුතු ව, බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිත පහදවාගෙන සිටීමෙන්, ප්‍රඥාව උපදවාගෙන සිටීමෙන්, පව් නොකර සිටීමෙන් එය උදාකර ගත හැකි බව බුද්ධ දේශනාව යි. සිල්වත් බව බිඳුණු පසු ඒ විවාහ ජීවිතය තුළ බලපැවැත්වෙන්නේ සැකය ම යි. ඉන්පසු කිසිදු සහනදායි සබඳතාවක්, මේ දෙදෙනා අතර ඇති වන්නේ නැහැ. මේ නිසා, මේ සියලු කරුණු පිළිබඳ ඉතා හොඳ අවධානයකින් අප සිටිය යුතු යි.

(සිත්මල් යාය - 2 කෘතියෙනි)

අම්මේ.....

On Monday, November 30, 2009



දුකඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දෙදී ගෙනදෙයි සුව​
අම්මේ
දස මසක්ම​ දස දුක් විඳ ලේ කිරි පෙවු අම්මේ

යදිනෙමි වරයක් සදනට සත හට සුව අම්මේ


ආදරයේ උල්පත නුඹ නොවේය මා රාහුල පුතු
අම්මේ

මව් ගුණ සුවඳ හැමදාමත් සිහිලයි තෙදබලැතියි නුඹෙ
අම්මේ

එනමුදු ජරා මරණය ඒ හැම පරයන දුක් සයුරකි
අම්මේ

බුදු පිය උරුමය තුළ පතනෙමි රැකවරණය​
අවසර
අම්මේ


අනවරාඝතයි
බියකරු සසර දුකක්මයි අඳුරුයි
අම්මේ

මරු පරදා මගෙ බුදු පියා ජයගති බෝ මැඩ මුල
දුක​
අම්මේ

ඒ මඟ අම නිවන් කෙලවර සදා සැපයි නිති සොඳුරුයි

අම්මේ

දෙනවද
විවරණ පුතු හට වඩිනට රහතුන් ගත් මඟ
අම්මේ


තුරුලට වී සුව විඳිමින් පමා වෙන්න බැහැ රත්තරං
අම්මේ

මේ ලද ක්‍ෂණය ගිලිහෙනු දී පරදිනු බෑ මේ සටනින්
අම්මේ

පූජා දී සසුනට සැදැහෙන් පිහිටා සරණයෙ තිසරණ
අම්මේ

මං එනතුරු ඉදිකඩ ළඟ නෙත කඳුලින් බලා නොයින්
අම්මේ.......
෴෴෴


Related Posts with Thumbnails