ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය........
‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’….. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද... ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ..... පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට දායාද කළ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය කොතරම් නම් සුන්දර ද...... සත්‍යවාදී ද.... කොතරම් නම් ස්වාක්ඛාත ද........ අපේ බුදු පියාණන් වහන්සේ අප ගැන කොයිතරම් නම් අනුකම්පාවෙන් ද මේ දේවල් අපට දායද කළේ.....
මේ මිහිතලය මත එදා මෙදා තුර, කාලයේ වැලිතලා වලින් සැඟව ගිය සුන්දර අතීතයක යටගියාව අනාවරණදස්සී වූ අප මුණීන්ද්‍රයන් වහන්සේ විසින් අපට කියා දෙනු ලැබුවා. ඒ පහුගිය කල්ප 91 තුළදී මේ තුන්ලොවම තම ණැන පහන් ආලෝකයෙන් ඒකාත්මික කළ අසිරිමත් මහා පුරුෂෝත්තමයින් හයදෙනෙකු ගැන. ඒ මේ මිහිමත වැඩ සිටි තවත් අසමසම බුදුවරුන් හයනමක් ගැන......
සුළුපටු ඉතිහාසයක් ගැනනම් නෙවේ අපි මේ කතා කරන්නේ. අපේ උන්දැලා වලවල් හාරල තිරිසනුන්ගේ ඇටකටු මතුකරගෙන කතා කරන සත හැත්තෑ පහේ ඉතිහාසයට වඩා මේක හුඟාක් ගැඹුරු ආශ්චර්යමත් ඉතිහාසයක්. ඒ අන්ධබාල පෘථඃජනයින්ට මේවා අහන්න ලැබුනොත් වැසිකිළියේ සිද්ධ කරන දේවල් ඇඳි වතේම සිද්ධ වේවි. ඉතින් ඒ කල්ප අනූ එකක් ඈතට දිව යන ඒ අසිරිමත් අතීතය ගැන කතා කරන්න කලින් කල්පයක් කියන්නෙ කොයිතරම් කාලයක් ද කියල අපි මොහොතක් කතා කරමු.
දවසක් මේ ප්‍රශ්නෙම භික්ෂූන් වහන්සේ නමක් අහනවා අපේ භාග්‍යවතුන් වහන්සේගෙන්. "ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයක් කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක් ද කියලා වර්ෂ වලින් කියන්න පුළුවනි ද?"
එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා "පිංවත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියෙනවා, මෙතරම් වර්ෂ ලක්ෂයක් තියෙනවා, දස ලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා, කෝටි දස ලක්ෂයක් තියෙනවා කියල කල්පයක දීර්ඝ කම කියන්න බැහැ." ……
තවත් විටෙක උන්වහන්සේ ලස්සන උපමාවකින් කල්පයක දීර්ඝ බව මේ විදියට පෙන්නලා දෙනවා..... ඔන්න යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස මහා පර්වතයක් තියෙනවා. යම් පුද්ගලයෙක් අවුරුදු 100කට වතාවක් බොහොම සිනිඳු සේද රෙදි කඩකින් මේ පර්වතය පිරිමදිනවා. මෙහෙම පිරිමදිත් දි කාලයක් යනකොට පිරිමැදීම නිසා අර පර්වතය ගෙවී නැතිවී යනවා. ඒත් කල්පය අවසන් වෙන්නෙ නැහැ...... කල්පය ගැන අදහසක් ගන්න ප්‍රමාණවත් නේද.....? ඉතින් මේ අපි කතා කරන අසිරිමත් බුදුවරුන්ගේ ඉතිහාසය එවැනි කල්ප 91ක් දක්වා ඈතට විහිදී යනවා මේ විදියට.
අනතුරුව, ඒ කිව්වේ මෙතනින් කල්ප 31කට එපිට උදාවුනා තවත් වාසනාවන්ත යුගයක්. මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 70000ක් මේ වෙනකොට. තවත් අසිරිමත් මනුෂ්‍ය රත්නයක් ඒ දඹදිව් තලයේම 'සිඛී' නමින් අරුණවතී නුවර අරුණ රජතුමාට හා ප්‍රභාවතී බිසවට දාව මෙලොව උපත ලැබුවා. මාරසේනා පරදවා හෙළඹ රුක් සෙවනකදී උතුම් සම්බෝධිය සාක්ෂාත් කළ ඒ මුණීන්ද්‍රයන් වහන්සේටත් 'අභිභූ' හා 'සම්භව' නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, 'ඛේමංකර' නම් වූ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමකුත් වැඩ සිටියා. තුන් ලොවම අමා සිහිලෙන් නැහැවූ ඒ අමා ගඟුළ ආයු සංස්කාර නිමවූවා. කළක් ඇවෑමෙන් ඒ බුදු සසුනේ නෂ්ඨාවෂේශත් මේ මිහිමතින් අතුරුදන් වුනා ලොව දහම පසක් කරමින්.
කාලය ගත වුනා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000 දක්වා අඩු වුනා. අපි තාම මේ කතා කරන්නෙ 31 වෙනි කල්පය ගැන. මේ 31 වෙනි කල්පයේ මිනිස්සු එතරම්ම අවාසනාවන්ත නැහැ. ඒ මොකද 'වෙස්සභූ' නමින් තවත් බුදු වරයකු පහළ වුනා ඒ කල්පය තුළදී ම දඹදිව් තළයේ. අනෝම නුවර තමා මේ අසිරිමත් උපත සිද්ධ වුනේ සුප්පතීත රජු හා යසවතී බිසවට දාව. ගුරු උපදේශ නොමැතිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සාක්ෂාත් කොට සාල රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් 'වෙස්සභූ' බුදුරජාණන් වහන්සේටත් පෙර බුදුවරුන්ට පරිදිම 'සෝන' හා 'උත්තර' නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, 'උපශාන්ත' නමින් අග්‍ර උපස්ථායක හිමි නමකුත් වැඩ සිටියා. සකළ සත හට සුවය සලසා තුන්ලොවටම දම් සුවඳ පතුරා ඒ බුදු සසුනත් කෙළවර වුනා.
ඉන් පස්සේ ආයෙමත් මහා අවාසනාවන්ත යුගයක්. කල්ප 30ක්ම බුද්ධ ශූන්‍ය යි. පොඩි කාලයක් ද...... කල්පම 30ක්. ඉතින් ඒ කල්ප 30 ඇවෑමෙන් උදා වුනා අපි මේ පහල වෙලා ඉන්න මහා භද්‍ර කල්පය. පසුගිය කල්ප සියය පුරාවටම උදා වුන වාසනාවන්තම කල්පය. ඇයි එහෙම කියන්නේ කියල ඔයාලටම තේරේවි ඉතුරු ටිකත් කියවන කොට. ඉතින් කල්ප 30කට පස්සෙ උදාවුන මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්.
දඹදිව් තලයේම ඛේමවතී නුවර අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමාට දාව විශාඛා බ්‍රාහ්මණ තුමියගේ කුසින් මහා පින්වත් පුත් රුවණක් බිහිවුනා. මහරි රුක් සෙවනකදී සියළු කෙළෙසුන්ගෙන් මිදී අමා නිවන සාක්ෂාත් කළ ‘කකුසඳ’ නම් වූ ඒ නරෝත්තමයන් වහන්සේටත් ‘විදුර’ හා ‘සංජීව’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘බුද්ධිජ’ නම් වූ අග්‍ර උපස්ථායක වනසේ නමකුත් වැඩ සිටියා. අඳුරෙහි ගිලී සිටි සත්වයාගේ ණැනස පෑදූ ඒ අමා ගඟුලත් වියැලී ගියා ආයු සංස්කාර නිමවමින්.
අපි මේ එන්නේ කල්ප 100කට ආසන්න අතීතයක ඉඳන්... මතකයි නෙ? එදා මිනිස්සුන්ගෙ ආයුෂ අවුරුදු 80000ක් තරම් කියල අපි කිව්වනෙ. ඉතින් මේ මහා භද්‍ර කල්පයේ ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන වාසනාවන්ත වූ යුගයේ දෙවන යුග පුරුෂයානන් වහන්සේගේත් බෝසත් උපතත් සිද්ධ වෙනවා ඒ දඹදිව් තළයේම සෝභවතී නුවර යඤ්ඤදත්ත බ්‍රාහ්මණ තුමාටත්, උත්තරා බ්‍රාහ්මණ තුමියටත් මව්පිය පදවි පිරිනමමින්. හැබැයි මේ කාලෙ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 30000 දක්වාම අඩු වෙලා. 'කෝණාගමන' නමින් දිඹුල් රුක් සෙවනකදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වයට පත් ඒ මහා මුණීන්ද්‍රයන් වහන්සේ හටත් 'භීය්‍යෝස' හා 'උත්තර' නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, 'සොත්ථිජ' නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකුත් එදා වැඩ හිටියා. තුන්ලොවට අමා පැන් බෙදා දුන් ඒ බුදු සසුනත් ලෝ දහම සාක්ෂාත් කරමින් කාලයේ වැලි යට සඟව ගියා.
ඒ වාසනාවන්ත කල්පයේ මේ මිහිමත තවත් සොඳුරු අභිමානවත් යුගයක් උදා වුනා මිනිස් ආයුෂ අවුරුදු 20000 දි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ඒ මහා පුරුෂරත්නය දඹදිව කිකී නුවර බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ තුමාටත්, ධනවතී භ්‍රාහ්මණතුමියටත් දාව ලොව පහල වී නුග රුක් සෙවනකදී සේනා සහිත මරු පරදවා 'කාෂ්‍යප' නමින් තුන්ලොව එක්සේසත් කොට ඒ මහා ධර්මරාජ්‍යය යළි බිහිකළා. ඒ ධර්මරාජ්‍යයේ සේනාධිපතිවරුන්, ඒ කියන්නෙ අග්‍රශ්‍රාවකයන් වුනේ 'තිස්ස' හා 'භාරද්වාජ' කියල උතුම් මහරහත් දෙනමක්. උපස්ථාන කලේ 'සර්වමිත්‍ර' නම් ස්වාමීන්වහන්සේ නමක්. ඇවිලගත් සිත් සතන් නිවාලමින් අමා දම් වැසි ඇද හැලුනා. සසරට වන් අසරණ සත්වයා සදා සැනසිල්ල ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් ඒ බුදු සසුනත් අතීතය තුළ ගිලී වැලලී ගියා කලින් වතාවල පරිද්දෙන්ම….
මිනිස්සුන්ගේ ආයුෂ වේගයෙන් අඩුවෙන්න වුනා. ආයු කාලය අවුරුදු 20000 ඉඳල 120 දක්වාම අඩු වුනා. නමුත් මතකද අපි කිව්වා මේ භද්‍ර කල්පයේ මිනිස්සු වාසනාවන්තයො කියල. ඉතින් ඒ වාසනාව මල් ඵල ගන්වමින්, පිනක මහිම මොනවාට කියපාමින් දඹදිව කපිලවස්තු නුවර සුදොවුන් රජුටත් මහාමායා දේවියටත් දාව පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවා සිද්ධාර්ථ නමින් මීට අවුරුදු 2632කට කලින්. ඇසතු රුක් මුලදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ඒ මහා නරෝත්තමයන් වහන්සේ තමයි අප මුළු හදින් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් ‘ගෞතම’ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපටත් පිනක් තිබුනා බුද්ධ ශාසනයක් ලොව පවතින කාලයක මිනිස් උපතක් ලබන්න. අංගවිකල, මන්දබුද්ධික නොවී යහපත් සිතීමේ ශක්තියක් ඇතුව..... කළණ මිතුරන් ඇසුරේ..... අපටත් පින තිබුනා ඒ අමා වැස්සේ තෙමී නැහැවෙන්නට.... ඒ බුදු සුවඳ විඳගන්නට..... දුර්ලභව ලැබුනු මේ උතුම් අවස්ථාවේ අපි එතනින් නැවතුනොත් මේ වාසනාවන්ත යුගයේ පහල වුන අවාසනාවන්තම මිනිසුන්ගේ ගොඩට අපිත් වැටෙනවා. අපි මුලින් කතා කලානෙ පෙර කළ උන්නු බුදු වරු ගැන. ඉතින් අපි දැක්කනෙ විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 60ක්ම බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ ආයෙත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඉතින් අපිට අප ලද මේ වාසනාව වටහා නොගත්තොතින් ආයෙත් කවදානම් අවස්ථාවක් ලැබේවිද මේ ඉපදෙන ලෙඩවෙන මැරෙණ දුක්ඛිත සසර ගමනේ අවසානයක් දකින්නට......
මේ සසරේ බියකරු, අනියත, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බැරිවුන සම හරක් මෛත්‍රී බුදු සසුන පතාගෙන යනවා. මේ කල්පයේ ඈතක, දුරක, කෙළවරක සැඟවුන කොනක, නොදන්නා ඉසව්වක තියෙන..... ඇයි අපි මේ තවමත් මුලා වෙලා.......?
ගෞතම බුදු සසුනේ පහස ලද පින්වත් මිතුරනේ..... ගිලිහෙන්න දෙන්න එපා මේ අති දුර්ලභව ලද ක්ෂණය........ අමතක කරන්න එපා අපි මේ ඉන්නේ පිරිසිදු බුදු සසුනක් ලොව පවතින සමයක කියලා. දැනවත් හිතන්න මොහොතක්.... ප්‍රමාද නොවී.
සදහම් ඇස් ඇති - සොඳුරු සිරිය ඇති
විපස්සී බුදුරජාණන් හට - නමස්කාර වේවා
සියළු සතුන් හට - අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට - නමස්කාර වේවා
සියළු කෙළෙස් නැති - වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට - නමස්කාර වේවා
දසමර සේනා - ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට - නමස්කාර වේවා
කෙළෙස් බැහැර කල - බඹසර නිම කළ
කෝණාගමණ බුදුරජාණන් හට - නමස්කාර වේවා
හැම කෙලෙසුන්ගෙන් - හොඳි මිදී ගිය
කස්සප බුදුරජාණන් හට - නමස්කාර වේවා
ලොවේ සියළු දුක් - මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ - යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති - ශාක්‍ය පුත්‍ර වූ
අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන් හට - නමස්කාර වේවා
ඒ බුදුවරු ලොව - නිවනට වැඩිසේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්ත්වය - විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා - පිසුණු බස් නොපවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය - සසර බිය නැති සේක් ම ය
දෙව් මිනිසුන් හට - හිතසුව සලසන
ගෞතම නම් වූ - විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ - හැම බියෙන් නිදහස් වූ
බුදුරජාණන් වහන්සේට - දෙව් මිනිසුන් නමස්කාර කරන්නා හු ය
ගෞතම නම් වූ - විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදුරජාණන් වහන්සේට - අපගේ නමස්කාරය වේවා...!!!
බුදු ගුණ අනන්ත යි...!!! -- (පහළොස්වන කොටස)
277. සෝ භගවා ඉතිපි අවිපටිසාරසම්පන්නෝ:- විපිළිසර නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිපටිසාර සම්පන්න’ වන සේක.
278. සෝ භගවා ඉතිපි අවිසංවාදකෝ:- ලොව මුලා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිසංවාදකෝ’ වන සේක.
279. සෝ භගවා ඉතිපි අවිරූළ්හිච්ඡන්දෝ:- කැමැත්ත යළි නො වැඩෙන ලෙස සිඳලූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිරූළ්හිච්ඡන්ද’ වන සේක.
280. සෝ භගවා ඉතිපි අවිකත්ථී:- තමන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිකත්ථී’ වන සේක.
281. සෝ භගවා ඉතිපි අවිඝාතපක්ඛිකෝ:- දුක් පක්ෂය බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිඝාතපක්ඛික’ වන සේක.
282. සෝ භගවා ඉතිපි අවික්ඛිත්තචිත්තෝ:- නොවිසිරෙන සිත් ඇති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවික්ඛිත්ත චිත්ත’ වන සේක.
283. සෝ භගවා ඉතිපි අවිසාහටමානසෝ:- නො කැළඹෙන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිසාහටමානස’ වන සේක.
284. සෝ භගවා ඉතිපි අවිවරදන්තෝ:- විවර රහිත දන්තධාතූන් වහන්සේලා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිවරදන්ත’ වන සේක.
285. සෝ භගවා ඉතිපි අව්‍යාපන්නෝ:- කෝප නො වන සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපන්න’ වන සේක.
286. සෝ භගවා ඉතිපි අවිප්පවාසෝ:- නිවනින් වෙන් නො වී වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිප්පවාස’ වන සේක.
287. සෝ භගවා ඉතිපි අවිහංසකෝ:- කිසිදු හිංසාවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිහිංසක’ වන සේක.
288. සෝ භගවා ඉතිපි අව්‍යාපජ්ඣරතෝ:- අව්‍යාපාදයට කැමති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපජ්ඣරත’ වන සේක.
289. සෝ භගවා ඉතිපි අව්‍යාපජ්ඣාරාමෝ:- මෙත් සිත පතුරුවා වැඩ සිටින හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපජ්ඣාරාම’ වන සේක.
290. සෝ භගවා ඉතිපි අව්‍යාපන්නචිත්තෝ:- ව්‍යාපාද රහිත සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපන්නචිත්ත’ වන සේක.
291. සෝ භගවා ඉතිපි අවේරී:- වෛර නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවේරී’ වන සේක.
292. සෝ භගවා ඉතිපි අවේධධම්මෝ:- නො සැලෙන ස්වභාවයෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවේධධම්ම’ වන සේක.
293. සෝ භගවා ඉතිපි අභයෝ:- නිර්භය වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභය’ වන සේක.
294. සෝ භගවා ඉතිපි අභයගතෝ:- භය රහිත නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයගත’ වන සේක.
295. සෝ භගවා ඉතිපි අභයප්පත්තෝ:- භය රහිත නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයප්පත්ත’ වන සේක.
296. සෝ භගවා ඉතිපි අභයදස්සී:- භය රහිත නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයදස්සී’ වන සේක.
297. සෝ භගවා ඉතිපි අභයේවිමුත්තෝ:- භය රහිත නිවන් දැක, සසරින් මිදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයේවිමුත්ත’ වන සේක.
298. සෝ භගවා ඉතිපි අභිරූපෝ:- අතිශයින් සුන්දර හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිරූප’ වන සේක.
299. සෝ භගවා ඉතිපි අභික්කන්තදස්සී:- ඉතා සොඳුරු දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභික්කන්තදස්සී’ වන සේක.
300. සෝ භගවා ඉතිපි අභිනීහාරකුසලෝ:- මතු මතු සමවැදුම පිණිස ධ්‍යානයන් ප්‍රගුණ කිරීමෙහි ඉතා දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනීහාරකුසල’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (දහහතර වන කොටස)
252. සෝ භගවා ඉතිපි අතිතුලෝ:- වෙන කිසිවෙකුට ත් තුලනය නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිතුල’ වන සේක.
253. සෝ භගවා ඉතිපි අත්තාධිපකෝ:- තමන් වහන්සේ අධිපති කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තාධිපක’ වන සේක.
254. සෝ භගවා ඉතිපි අත්තඤ්ඤූ:- සිය ගුණ දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තඤ්ඤූ’ වන සේක.
255. සෝ භගවා ඉතිපි අත්ථඤ්ඤූ:- සැබෑ අර්ථය දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථඤ්ඤූ’ වන සේක.
256. සෝ භගවා ඉතිපි අත්තසඤ්ඤතෝ:- සිය ජීවිතය සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තසඤ්ඤත’ වන සේක.
257. සෝ භගවා ඉතිපි අත්ථදස්සී:- සියළු අර්ථයන් දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථදස්සී’ වන සේක.
258. සෝ භගවා ඉතිපි අත්තදීපෝ:- තමා දිවයිනක් කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තදීප’ වන සේක.
259. සෝ භගවා ඉතිපි අත්තඤ්ජහෝ:- ආත්මදෘෂ්ටිය හැර දැමූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තඤ්ජහ’ වන සේක.
260. සෝ භගවා ඉතිපි අත්තදන්තෝ:- සිය ජීවිතය දමනය කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තදන්ත’ වන සේක.
261. සෝ භගවා ඉතිපි අත්තගුත්තෝ:- අකුසලයෙන් තමන් රැකගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තගුත්ත’ වන සේක.
262. සෝ භගවා ඉතිපි අත්තභරෝ:- අනෙකෙක් පෝෂණය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තභර’ වන සේක.
263. සෝ භගවා ඉතිපි අත්ථද්ධෝ:- තදගති නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථද්ධ’ වන සේක.
264. සෝ භගවා ඉතිපි අත්ථවාදී:- අර්ථය පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථවාදී’ වන සේක.
265. සෝ භගවා ඉතිපි අත්ථකාමෝ:- අර්ථය ම කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකාම’ වන සේක.
266. සෝ භගවා ඉතිපි අත්ථකුසලෝ:- සැබෑ අර්ථයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකුසල’ වන සේක.
267. සෝ භගවා ඉතිපි අත්ථස්සනින්නේතා:- සැබෑ අර්ථය ඉස්මතු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථස්සනින්නේතා’ වන සේක.
268. සෝ භගවා ඉතිපි අතිරච්ඡානකථිකෝ:- දෙතිස් කථා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිරච්ඡානකථික’ වන සේක.
269. සෝ භගවා ඉතිපි අතිදේවප්පත්තෝ:- අති ශ්‍රේෂ්ඨභාවයට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිදේවප්පත්ත’ වන සේක.
270. සෝ භගවා ඉතිපි අතුලෝ:- කිසිවෙකුට සම කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතුල’ වන සේක.
271. සෝ භගවා ඉතිපි අතුලදස්සනෝ:- සම කළ නො හැකි සොඳුරු දසුන් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතුලදස්සන’ වන සේක.
272. සෝ භගවා ඉතිපි අතුලතේජෝ:- සම කළ නො හැකි තේජස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතුලතේජ’ වන සේක.
273. සෝ භගවා ඉතිපි අවිරුද්ධෝ:- ලොවෙහි නො ගැටෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිරුද්ධ’ වන සේක.
274. සෝ භගවා ඉතිපි අවිකම්පමානෝ:- කිසි කලෙක නො සැලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිකම්පමාන’ වන සේක.
275. සෝ භගවා ඉතිපි අවිතක්කඣායී:- විතර්ක රහිත ධ්‍යානයන් වඩනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිතක්කඣායී’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (දහතුන්වන කොටස)
227. සෝ භගවා ඉතිපි අධිචිත්තමනුයුත්තෝ:- සමථ විපස්සනා භාවනානුයෝගී සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිචිත්තමනුයුත්ත’ වන සේක.
228. සෝ භගවා ඉතිපි අධිචේතසෝ:- සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගිය සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිචේතස’ වන සේක.
229. සෝ භගවා ඉතිපි අධිගතපටිසම්භිදා:- විශේෂ විභාග දන්නා නුවණට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිගත පටිසම්භිදා’ වන සේක.
230. සෝ භගවා ඉතිපි අසාරද්ධෝ:- කෙළෙස් දාහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරද්ධ’ වන සේක.
231. සෝ භගවා ඉතිපි අචපලෝ:- චපල ගති නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අචපල’ වන සේක.
232. සෝ භගවා ඉතිපි අචලෝ:- නො සැලෙන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අචල’ වන සේක.
233. සෝ භගවා ඉතිපි අච්චන්තසුඛුමාලෝ:- අතිශයින් සියුමැලි සොදුරු දිවි ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත සුඛුමාල’ වන සේක.
234. සෝ භගවා ඉතිපි අච්චුතප්පත්තෝ:- චුත නො වන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චුතප්පත්ත’ වන සේක.
235. සෝ භගවා ඉතිපි අච්චුතගතෝ:- චුත නො වන ස්වභාවය වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චුතගත’ වන සේක.
236. සෝ භගවා ඉතිපි අච්චුතදස්සී:- චුත නො වන ස්වභාවය වූ නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චුතදස්සී’ වන සේක.
237. සෝ භගවා ඉතිපි අච්ඡරියප්පත්තෝ:- ආශ්චර්යවත් ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡරියප්පත්ත’ වන සේක.
238. සෝ භගවා ඉතිපි අච්ඡරියෝ:- ආශ්චර්යවත් ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡරිය’ වන සේක.
239. සෝ භගවා ඉතිපි අච්ඡේරසත්තෝ:- ආශ්චර්යවත් ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡේර සත්ත’ වන සේක.
240. සෝ භගවා ඉතිපි අච්ඡරියමනුස්සෝ:- අසිරිමත් මිනිස් රුවනක් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡරිය මනුස්ස’ වන සේක.
241. සෝ භගවා ඉතිපි අච්චන්තනිට්ඨෝ:- නිවන් මග අත්‍යන්තයෙන් ම සම්පූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත නිට්ඨ’ වන සේක.
242. සෝ භගවා ඉතිපි අච්චන්තයෝගක්ඛේමී:- ඒකාන්ත වශයෙන් ම යෝගයන් ගෙන් (අකුසලයේ යෙදීම්) මිදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත යෝගක්ඛේමී’ වන සේක.
243. සෝ භගවා ඉතිපි අච්චන්තපරියෝසානෝ:- සසර සීමා ඉක්මවා බඹසර කෙලවර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත පරියෝසාන’ වන සේක.
244. සෝ භගවා ඉතිපි අච්චන්තබ්‍රහ්මචාරී:- අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත බ්‍රහ්මචාරී ’ වන සේක.
245. සෝ භගවා ඉතිපි අච්ඡම්භී:- තැති ගැනීම් ඉක්ම වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡම්භී’ වන සේක.
246. සෝ භගවා ඉතිපි අච්ඡිද්දවුත්තී:- සිදුරු නො වූ සිල්වත් දිවියක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡිද්දවුත්තී’ වන සේක.
247. සෝ භගවා ඉතිපි අචින්තියෝ:- කිසි කලෙක සිතා නිම කළ නො හැකි ගුණස්කන්ධයක් දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අචින්තිය’ වන සේක.
248. සෝ භගවා ඉතිපි අතම්මයෝ:- කෙළෙසුන් විසින් නිර්මිත නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතම්මය’ වන සේක.
249. සෝ භගවා ඉතිපි අතන්දිතෝ:- මැලිබව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතන්දිත’ වන සේක.
250. සෝ භගවා ඉතිපි අතපනීයෝ:- තැවීම් රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතපනීය’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (දොළොස්වන කොටස)
202. සෝ භගවා ඉතිපි අනුව්‍යඤ්ජනසම්පන්නෝ:- උතුම් අනුව්‍යංජනයන්ගෙන් (ශාරීරික අනුලක්ෂණ) යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුව්‍යඤ්ජනසම්පන්න’ වන සේක.
203. සෝ භගවා ඉතිපි අනූනමනසංකප්පෝ:- කිසිඳු ගුණයකින් ඌන නො වූ සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනමනසංකප්ප’ වන සේක.
204. සෝ භගවා ඉතිපි අන්තිමදේහධාරී:- අන්තිම දේහය දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තිමදේහධාරී’ වන සේක.
205. සෝ භගවා ඉතිපි අන්තිමසාරීරෝ:- අන්තිම සිරුරු දරා වැඩ සිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තිමසාරීර’ වන සේක.
206. සෝ භගවා ඉතිපි අන්තගූ:- සසර පරතෙරට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තගූ’ වන සේක.
207. සෝ භගවා ඉතිපි අන්තකරෝ:- සසර දුක් කෙළෙවර කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තකර’ වන සේක.
208. සෝ භගවා ඉතිපි අන්තගතෝ:- සියළු සංස්කාරයන් හි කෙළවරට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තගත’ වන සේක.
209. සෝ භගවා ඉතිපි අන්තප්පත්තෝ:- ලෝකයෙහි කෙළවරට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තප්පත්ත’ වන සේක.
210. සෝ භගවා ඉතිපි අන්තලික්ඛචරෝ:- අහසින් ගමන් කළ හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තලික්ඛචර’ වන සේක.
211. සෝ භගවා ඉතිපි අනේකාකාරසම්පන්නෝ:- නොයෙක් ආකාර ගුණයන්ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනේකාකාර සම්පන්න’ වන සේක.
212. සෝ භගවා ඉතිපි අනේජෝ:- ඒජා නමැති තෘෂ්ණාව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනේජ’ වන සේක.
213. සෝ භගවා ඉතිපි අනෝමෝ:- අලාමක ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝම’ වන සේක.
214. සෝ භගවා ඉතිපි අනෝකසාරී:- උපාදානස්කන්ධ නමැති නිවහන අත්හැර හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝකසාරී’ වන සේක.
215. සෝ භගවා ඉතිපි අනෝකෝ:- උපාදානස්කන්ධ නමැති නිවහන නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝක’ වන සේක.
216. සෝ භගවා ඉතිපි අනෝමපඤ්ඤෝ:- අළාමක ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමපඤ්ඤ’ වන සේක.
217. සෝ භගවා ඉතිපි අනෝමවීරෝ:- අළාමක වූ වීර ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමවීර’ වන සේක.
218. සෝ භගවා ඉතිපි අනෝමවණ්ණෝ:- අළාමක පැහැ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමවණ්ණ’ වන සේක.
219. සෝ භගවා ඉතිපි අනෝමදස්සී:- අළාමක දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමදස්සී’ වන සේක.
220. සෝ භගවා ඉතිපි අසාමන්තපඤ්ඤෝ:- කිසිවෙකුට සමීප විය නො හැකි ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාමන්තපඤ්ඤ’ වන සේක.
221. සෝ භගවා ඉතිපි අසෝචකෝ:- ශෝක නො කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසෝචක’ වන සේක.
222. සෝ භගවා ඉතිපි අප්පමාදවිහාරී:- අප්‍රමාදී විහරණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදවිහාරී’ වන සේක.
223. සෝ භගවා ඉතිපි අදළිද්දෝ:- ලොව් තුරා සැපතින් නො දිළිඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදළිද්ද’ වන සේක.
224. සෝ භගවා ඉතිපි අදුතියෝ:- දෙවැන්නෙක් නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදුතිය’ වන සේක.
225. සෝ භගවා ඉතිපි අදුට්ඨෝ:- දෝෂ නැති සිත් දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදුට්ඨ’ වන සේක.
මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොමසරන්නට......
ජීවිතය
නොවේ විඳින්නට හෝ විඳවන්නට මුලාවෙන්
නමුදු කරන්නට අවබෝධ
ඇති තතු ඇති සැටියෙන්
ජරා-මරණ, සෝක-වැළපුම්, දුක්-දොම්නස්, සුසුම් ලීම්
ඇතිද ජය ගත් අයෙක්.......
දුවමින් පුරාවට පැය 24
පටන් තේරෙන දා හය හතර
ලුහුබඳිමින් පුහු කාමයන් මස් වැදලි වන්
නොනිම් තරඟයක පැටලී මුලාවෙන් නොමැති ජය කණු
මිරිඟු පසු මුව රැලක් වන්
නොදකිමින් සසරක දුක, අනියත බියකරු…….
ඇතිවූ නිසා හේතුවක් හටගෙන ඇත ඵලයක්
පසක් කරමින් ලෝ දහම නැතිවී යයි ඵලය
නිරුද්ධ වීමෙන් හේතුව
බලන් දෑස් හැර මෑත් කොට මෝහයේ කඩතුරාව
ඇතිද මිදුනෙක් දහමින් හේතු-ඵල
උපන් නමුදු අත් නොවූ ජරා-මරණ.........
තණග දිය බිඳක් වන් ගලා යන දොළක් වන් ජීවිතය
සයුර මත පාවෙනා හිම කඳක් සේම වන් සසර
මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොමසරන්නට
දුරැලා දුරින්ම රාග-ද්වේෂ-මෝහ
අවබෝධයෙන්ම හේතුව
නොම යන්නට යළි ඵලයක් කරා
යාත්‍රා කරන්නට කාලයයි
මඟ හැරෙන්නට මත්තෙන් අන්තිම නෞකාව......
අප්‍රමාදව
බුදු ගුණ අනන්ත යි...!!! -- (එකොලොස් වන කොටස)
177. සෝ භගවා ඉතිපි අනුපායාසෝ:- සිත් තැවුල් නැති ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපායාස’ වන සේක.
178. සෝ භගවා ඉතිපි අනුපාදානෝ:- සියළු උපාදානයන් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාදාන’ වන සේක.
179. සෝ භගවා ඉතිපි අනුස්සදෝ:- ඇවිස්සී යන කෙලෙස් කිසිවක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සද’ වන සේක.
180. සෝ භගවා ඉතිපි අනුද්ධතෝ:- නො සන්සුන් භාවය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුද්ධත’ වන සේක.
181. සෝ භගවා ඉතිපි අනුන්නළෝ:- මාන නළ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුන්නළ’ වන සේක.
182. සෝ භගවා ඉතිපි අනුබ්බිග්ගෝ:- තැති ගැනීම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුබ්බිග්ග’ වන සේක.
183. සෝ භගවා ඉතිපි අනුස්සංකී:- සැක රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සංකී’ වන සේක.
184. සෝ භගවා ඉතිපි අනුපුබ්බවිහාරී:- පිළිවෙලින් සමවදිනා සමවත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපුබ්බවිහාරී’ වන සේක.
185. සෝ භගවා ඉතිපි අනුපුබ්බූපසන්තෝ:- පිළිවෙලින් සංසිඳීගිය සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපුබ්බූපසන්ත’ වන සේක.
186. සෝ භගවා ඉතිපි අනුනේතා:- සැක දුරු කරවමින් නිවන් මග තුළ සමාදන් කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුනේතා’ වන සේක.
187. සෝ භගවා ඉතිපි අනුපගතෝ:- කෙළෙසුන් කරා නො එළඹුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපගත’ වන සේක.
188. සෝ භගවා ඉතිපි අනුපනාහෝ:- බද්ධ වෛර නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපනාහ’ වන සේක.
189. සෝ භගවා ඉතිපි අනුපමෝ:- කිසිවකට උපමා කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපම’ වන සේක.
190. සෝ භගවා ඉතිපි අනුසාසනකුසලෝ:- ධර්මානුශාසනාවට අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුසාසන කුසල’ වන සේක.
191. සෝ භගවා ඉතිපි අනූනභෝගෝ:- සියළු ලොව්තුරු භෝගයන් ගෙන් අනූන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනභෝග’ වන සේක.
192. සෝ භගවා ඉතිපි අනුබුද්ධෝ:- සිව්සස් දහම් මැනවින් අවබෝධ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුබුද්ධ’ වන සේක.
193. සෝ භගවා ඉතිපි අනුකම්පකෝ:- සියළු සත්වයිනට අනුකම්පා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුකම්පක’ වන සේක.
194. සෝ භගවා ඉතිපි අනුවිදිතෝ:- සිව්සස් දහම් මැනවින් ප්‍රකට කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුවිදිත’ වන සේක.
195. සෝ භගවා ඉතිපි අනුච්චාවචසීලෝ:- උස්පහත් නො වූ සිථීර සිල් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුච්චාවච සීල’ වන සේක.
196. සෝ භගවා ඉතිපි අනුනයපටිඝවිප්පහීනෝ:- ඇලීම් ගැටීම් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුනය පටිඝ විප්පහීන’ වන සේක.
197. සෝ භගවා ඉතිපි අනුරෝධවිරෝධසමතික්කන්තෝ:- (රාග වශයෙන්) අනුකූල වීම්, (ද්වේශ වශයෙන්) විරුද්ධ වීම්, සියලු අයුරින් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුරෝධ විරෝධ සමතික්කන්ත’ වන සේක.
198. සෝ භගවා ඉතිපි අනූපඝාතෝ:- අන් අයට පීඩා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපඝාත’ වන සේක.
199. සෝ භගවා ඉතිපි අනුපවාදෝ:- කෙලෙස් සහිත ව කිසිවෙකුට ගර්හා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපඝාත’ වන සේක.
200. සෝ භගවා ඉතිපි අනූනංගෝ:- සියලු කායිකාංගයන් ගෙන් සේම කුසලාංගයන් ගෙන් අනූන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනංග’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (දසවැනි කොටස)
152. සෝ භගවා ඉතිපි අනාතුරෝ:- කෙළෙසුන්ගෙන් ආතුර නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාතුර’ වන සේක.
153. සෝ භගවා ඉතිපි අනාලයප්පත්තෝ:- ආලය ක්ෂය වීම නම් වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලයප්පත්ත’ වන සේක.
154. සෝ භගවා ඉතිපි අනාලයෝ:- ඇල්ම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලය’ වන සේක.
155. සෝ භගවා ඉතිපි අනින්දිතෝ:- කරුණු සහිත ව කිසිවෙකුගෙනුත් නින්දා නො ලබන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනින්දිත’ වන සේක.
156. සෝ භගවා ඉතිපි අනිස්සුකී:- ඉරිසියා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සුකී’ වන සේක.
157. සෝ භගවා ඉතිපි අනිදස්සනප්පත්තෝ:- සංස්කාර මගින් නො දැක්විය හැකි වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිදස්සනප්පත්ත’ වන සේක.
158. සෝ භගවා ඉතිපි අනිරාකතජ්ඣානෝ:- නො නැසූ ධ්‍යාන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිරාකතජ්ඣාන’ වන සේක.
159. සෝ භගවා ඉතිපි අනිකේතවිහාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයේ නො වසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතවිහාරී’ වන සේක.
160. සෝ භගවා ඉතිපි අනිමිත්තවිහාරී:- නිමිති රහිත විහරණයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තවිහාරී’ වන සේක.
161. සෝ භගවා ඉතිපි අනිච්ඡෝ:- කැමැත්ත බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිච්ඡ’ වන සේක.
162. සෝ භගවා ඉතිපි අනිස්සිතෝ:- කිසිදු සංස්කාරයක් ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සිත’ වන සේක.
163. සෝ භගවා ඉතිපි අනිකේතසාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයෙහි නො හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතසාරී’ වන සේක.
164. සෝ භගවා ඉතිපි අනීතිහමදස්සී:- තමන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂයෙන් ම දහම් දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිහමදස්සී’ වන සේක.
165. සෝ භගවා ඉතිපි අනීතිකප්පත්තෝ:- සියළු උපද්‍රව දුරු වීම නම් වූ නිර්වාණයට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකප්පත්ත’ වන සේක.
166. සෝ භගවා ඉතිපි අනීඝෝ:- අකුසල් නිසා ඇති වන සියලු දුක් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීඝ’ වන සේක.
167. සෝ භගවා ඉතිපි අනීතිකධම්මප්පත්තෝ:- සියලු විපත් දුරු වූ නිවනට පැමිණ වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකධම්මප්පත්ත’ වන සේක.
168. සෝ භගවා ඉතිපි අනුප්පත්ථසදත්ථෝ:- පිළිවෙලින් තම අර්ථයට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුප්පත්ථසදත්ථ’ වන සේක.
169. සෝ භගවා ඉතිපි අනුධම්මචාරී:- ධර්මයට අනුව ජීවිතය පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුධම්මචාරී’ වන සේක.
170. සෝ භගවා ඉතිපි අනුස්සුකෝ:- සංස්කාර රැස් කිරීම කෙරෙහි උත්සාහ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සුක’ වන සේක.
171. සෝ භගවා ඉතිපි අනුස්සිතෝ:- මානයෙන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සිත’ වන සේක.
172. සෝ භගවා ඉතිපි අනුපාරම්භචිත්තෝ:- දොස් රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාරම්භචිත්ත’ වන සේක.
173. සෝ භගවා ඉතිපි අනුත්‍රාසී:- කිසි කලෙක ත්‍රාසයට පත් නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්‍රාසී’ වන සේක.
174. සෝ භගවා ඉතිපි අනුපලිත්තෝ:- ලෝකයෙහි නො තැවරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපලිත්ත’ වන සේක.
175. සෝ භගවා ඉතිපි අනූපයෝ:- කිසිඳු ක්ලේෂයකට සමීප නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූපය’ වන සේක.
Let's Meditate ( part -06)
නිවන් සුව ලබන්න වැඩිය යුතු අරමුණු පහක්

නාවලපිටියේ අරියවංශ හිමි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
අපි ඊයේ කතා කරපු දේ තුළ මුණගැහුණු වැදගත් ම පණිවිඩය මොකක් ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය තැබිය යුතු යි කියන කාරණය. ඒ විශ්වාසය තැබීම මත තමයි, අප තුළ නිර්භය බව උපදින්නේ. ඒ ඉවසීම මත තමයි, අපි සකසා යමක් කරන්නට පෙළඹෙන්නේ. යමක් සකසා කිරීම, යමක් හොඳින් කිරීම මත තමයි යමකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ.
එතකොට අපි බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් නිදහස්වීම නම්, ඒ සංසාර දුකින් නිදහස් වීම පිණිස අපට මුලින් ම තිබිය යුතු මොන සුදුසුකම ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසයක් නැතිව අපට මොන දේ තිබුණත් ඒවා සංසාරෙන් නිදහස්වීම පිණිස උපකාර වන්නේ නෑ. සංසාරෙ ඉන්න, නොයෙකුත් දේ ගොඩගසා ගන්නනම් අපට ඒවා උපකාර වෙයි.
බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසයක් තිබෙනවා නම්, අපට වෙන මොනව නැතත් කමක් නෑ. එපමණින් ම අපට සංසාරෙන් නිදහස්වීම පිණිස දොර ඇරෙනවා. සතර සතිපට්ඨානය පිළිබඳ අපි යම් විශ්වාසයක් ඇති කරගත්තොත් ඒ විශ්වාසය භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි ඇති වන විශ්වාසයක්. එපමණකින් ම එයාට නිවන් මඟට පිවිසීම පිණිස විශාල ඉඩකඩක් විවෘත වනවා.
අපි ඒක සරල කාරණයක් වශයෙන් නො සැලකිය යුතු යි. ජීවිතේ ම මහන්සි වෙලා හරි කමක් නෑ, සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් අප තුළ ඇති කරගන්න පුළුවන් වුණොත් අපි එපමණකින්ම නිවන්මඟ පුරුදු කරන්න කැමැති වනවා. අපට නිර්භය බව උපදිනවා. විශ්වාසය ඇති වනවා. සැක සංකා දුරුකර ගන්න අවස්ථාවක් ඉපදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහාගන්න අපි දක්ෂ වන්න ඕන. සංසාරෙන් නිදහස් වීමට කැමැති අයට ඒ භාග්‍යවතුන් වහන්සේගේ් අවබෝධය අදහා ගන්න පුළුවන් විදියේ කෙටි දේශනාවක් සිහිකර දෙන්න අපි කල්පනා කළා.
අංගුත්තර නිකායේ 3 වන පොත් වහන්සේ ගේ ‘නිබ්බිදා සූත්‍රය’ ඛ්යල සූත්‍රයක් තිබෙනවා. ඒක ඔබ කවුරුත් කියවලා ඇති. මේකේ තියෙනවා ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා ඒකන්තනිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තන්ති’. බලන්න මේ ධර්ම පහක් භාවිතා කළොත්, පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒක උපකාර වනවා කියලා කියනවා ඒකාන්ත වශයෙන් ම කළකිරීම පිණිස, නියත වශයෙන් ම සංසාරයෙහි කලකිරීම පිණිස ඒ කාරණා පහ පුරුදු කිරීම උපකාර වනවා කියලා කියනවා.
එතකොට, ඇත්තෙන් ම අප තුළ නැත්තේ මොකක් ද? අප තුළ නැත්තේ, සංසාරය කෙරෙහි කලකිරීම, සංසාරය පිළිබඳ කලකිරීමක් තිබුණා නම් එයාට තියෙනව ද දඩබ්බරකමක්? එයා ළඟ තියෙනව ද මුරණ්ඩුකමක්? එයා ළඟ තියෙනව ද මාන්නයක්? නෑ නේ ද? තියෙන්න හේතුවක් නෑ. ඇයි ඒවා සංසාරෙට අයිති දේවල්. එයා කලකිරෙන්නේ ඒවට යි. සංසාරය පිළිබඳ කලකිරෙන කෙනා සංසාරෙ යන්නට උපකාර වන්නා වූ සියලු දේ කෙරෙහි කළකිරෙනවා. යම් දඩබ්බරකමක්, හිතුවක්කාරකමක්, මාන්නයක් යම් අකුසලයක් තියෙනව නම්, ඒ සියල්ල ම සංසාරෙ යන්නට උපකාර වන දේවල්. සංසාරේ කෙරෙහි කලකිරෙන කෙනා ඒ අකුසල බලවත් වන්නට ඉඩ දෙන්නෙ නෑ. ඒවා දැකල ඒවා පාලනය කරනවා, දුරු කරනවා. එයා තුළ ඒවා හටගන්නේ නෑ. ඇයි? එයා තුළ කලකිරීමක් තියෙන්නේ. ඒ කලකිරීම හේතුකරගෙන එයා තුළ සන්සුන්කමක් උපදිනවා. මෙල්ල වීමක් තියෙනවා. සංවරකමක් උපදිනවා. එයා නිහඬ කෙනෙක් බවට පත් වන්න ඒ කලකිරීම උපකාර වනවා.
ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා, මේ ධර්මතා පහ පුරුදු කිරීම ඒකාන්ත වශයෙන් ම කලකිරීම ඇති කරනවා කියා. නියත වශයෙන් ම කලකිරීම ඇති කරනවා කියා. කලකිරීම විතරක් නෙමේ එමගින් විරාගාය - විරාගය ද ඇති වනවා. ඇල්මක් ඇති වීම නවතිනවා. ඊළඟට ‘නිරෝධාය’ උපන් ඇල්ම නිරුද්ධ වනවා. ‘උපසමාය’ - සංසිඳීම ඇති කරනවා. ‘අභිඤ්ඤාය’ - විශේෂ ඤාණ උපදවා දෙනවා. ‘සම්බෝධාය’ - ආර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා. ‘නිබ්බානාය සංවත්තන්ති’ - නිවන අවබෝධ කිරීම පිණිස උපකාර වනවා.
එතකොට ඒ කාරණා කීයක් පුහුණු කිරීමෙන් ද? කාරණා පහක්. ‘කතමේ පඤ්ච’ මොකක්ද ඒ පහ? ඉධ භික්ඛවේ භික්ඛු අස්සුභානුපස්සී කායේ විහරති - භික්ෂුව කය කෙරෙහි අසුභ වශයෙන් දකින්න පුරුදු කරනවා. අසුභ භාවනාව පුරුදු කරනවා. ආහාරේ පටික්කුල සඤ්ඤා- ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරනවා. ‘සබ්බලෝකේ අනභිරත සඤ්ඤා’ - සබ්බ ලෝකේ අනභිරත සංඥාව පුරුදු කරනවා. ඊළඟට ‘සබ්බ සංඛාරේසු අනිච්චානුසඤ්ඤී’ ඊ ළඟට ‘මරණානුස්සති’ - මරණය පිළිබඳ සතිය.
මොනවද ඒ කාරණා පහ? අසුභ භාවනාව, ආහාරයේ පිළිකුළ පිළිබඳ භාවනාව, සියලු ලෝකයේ නො ඇල්ම පිළිබඳ සංඥාව, ඊට පස්සේ සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව, ඊට පස්සේ මරණ සතිය, මේ කාරණා පහයි. ධර්ම පහයි පුරුදු කරන්නේ. ඒ ධර්ම පහ පුරුදු කිරීම නියත වශයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාර වනවා.
එසේ වීම රාගය දුරු කරගන්න උපකාර වනවා. අකුසල් නිරුද්ධ කරගන්න උපකාර වෙනවා. එවිට, සංසිදීම ඇතිවනවා, එය විශේෂ ඤාණ ඇතිවීම පිණිසත්, ආර්ය සත්‍ය අවබෝධය පිණිසත් උපකාර වනවා. නිවන අවබෝධ කිරීම පිණිස ඒ කාරණා පහ එලෙස උපකාර වනවා.
එතකොට බලන්න, මේ ධර්මය අපි හොඳින් පිළිගත්තොත්, මේ ධර්මය කෙරෙහි අපට විශ්වාසය ඇතිකරගන්න පුළුවන් වුණොත්, අපට නිවන් මඟ පහසු වෙයිද? අපහසු වෙයිද? පහසු වෙනවා නේද? අප මේ ධර්මය කියවලා තියෙනවා ද නැද්ද? කියවලා තියෙනවා නේ්ද? එහෙත් අප තුළ හට නොගත්තේ මොකක් ද? ඒ ධර්මය කෙරෙහි විශ්වාසය නේද අප තුළ හට නොගත්තේ? ඒ ධර්මය කෙරෙහි විශ්වාසයට ආපු කෙනා තුළ කලකිරීම හට ගන්නවා ද නැද්ද? හට ගන්නවා. එහෙත් විශ්වාසයට ආපු පමණින් ම නොවෙයි.
මේ ධර්මය කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගත්ත කෙනා ගේ ස්වභාවය මොකක් ද? එයා ගේ ස්වභාවය තමයි කලබල වන්නේ නැතිකම. එයාට බලවත් සතුටක් තියෙනවා. ඇයි එයා සොයමින් සිටි දේ මුණ ගැහුණා. අපට ධර්මය මුණ ගැහුණට පස්සේ අපි කොහොම ද මේක පුරුදු කර ගන්නේ? මොන විදියට ද පුරුදු කර ගන්නේ? කියන අදහස කා තුළත් ඇතිවනවා.
අන්න ඒ වගේ ඉන්න කෙනෙක් මේ දේශනාව කියෙව්වා නම්, මේ ධර්මය කෙරෙහි එයා පැහැදීම ඇතිකර ගත්තා නම්, මේ ධර්මය විශ්වාස කළානම්, එයා තුළ මොකක් ද ඇතිවෙන්නේ? එයාට තිබුණු බය නැති වනවා.
අපිට සංසාරෙන් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක් එනතෙක්, ඒකට මඟ පෑදෙනතෙක් බයක් තියෙනවා, ‘මට බැරිවෙයි ද මේක....’ මොකක් ද මම කරන්නේ...?’ කියලා එහෙම එකක් තියෙනවා නේද? ඉතින් යමෙක් ඒ මාර්ගය දැක්කායින් පස්සේ, අඳුන ගත්තයින් පස්සෙ, එයාට ඒ භය දුරු වෙලා යනවා. ඊට පස්සේ එයා තුළ තියෙනව ද අපහසු කමක්. අපහසුකම් තියෙන්න බෑ. ඇයි? භය දුරු වුණ කෙනා ප්‍රමුදිත යි. භය දුරු වෙච්ච කෙනා තුළ ප්‍රමුදිත භාවය තියෙනවා. නිසැක භාවයට පත් වුණු කෙනා තුළ ප්‍රමුදිත භාවය තියෙනවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය, මේ දේශනා තුළ තියෙනවා. මේ දේශනා කියවලා, අපි ඒ අවබෝධය කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්තොත්, ඒ අවබෝධය අදහා ගත්තොත්, එපමණකින් ම අප තුළ නිසැක බව ඇතිවෙනවා. එපමණකින් ම අප තුළ නිර්භය බව ඇතිවෙනවා. එපමණකින් ම අප තුළ ප්‍රමුදිත බව ඇතිවෙනවා. අන්න එයා ප්‍රබෝධයෙන් වාසය කරනවා. ඇයි එයාට විශ්වාසයක් තියෙනවා, තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් දැන් සලසා ගන්න පුළුවන් කියලා.
ඒ නිසයි අපි කලිනුත් ඔබට ප්‍රකාශ කළේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි අපට මහත් වූ යහපත ඇති කරන පළමුවන කාරණය කියා. ඒ නිසා මේ වගේ දේශනා කියවන්න. කියවලා මේ දේශනාවල තියෙන එක එල්ලේ ප්‍රකාශ කරලා තිබෙන පණිවිඩය හොඳින් දරා ගන්න, භය නැතිකර ගන්න, භය නැතිකර ගත්ත කෙනා කලබල වෙන්නේ නෑ. භය තියෙන කෙනා කලබල වනවා. එයා භාවනා කරන්න ගියත් ‘පැල් බැඳගෙන’ භාවනා කරන්න බලනවා. ඇයි? එයා භය යි. මොකක් ද කරන්නේ කියලා දන්නේ නැති නිසා.
එයා මාර්ගය දැක්කා. පිළිවෙළකට මාර්ගයේ යන්න එයා කල්පනා කරනවා. ඒ නිසා මේ දේශනා කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න. විශ්වාසය ඇතිකරගෙන මේ දේශනාවේ තියෙන ඒ කාරණා; ඒ ධර්ම පහ ටික ටික පුරුදු කරන්න කල්පනා කරන්න. ඔබ සියලු දෙනාට ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම පිණිස ශක්තිය, ධෛර්යය හා වාසනාව උදාවේවා කියා අපි ආශිර්වාද කරනවා!
(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම් දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)
http://www.lakehouse.lk/budusarana/2009/11/16
බමුණං සරණං ගච්ඡාමි....!!! (ගෞතම සංදේශය 03)
“බමුණං සරණං ගච්ඡාමි”….. අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද? එහෙම හිතුනට, දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා). හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ නම් එහෙමයි. නමුත් ඒ බෞද්ධයන්ගේ පට්ටන්තරය දන්නෝ දනිති. අපි ඇයි බෞද්ධ වුනේ, කොහොමද බෞද්ධ වුනේ කියල ඇහුවොත් හුඟ දෙනක් නිරුත්තර වෙන්න පුළුවන්. සමහරවිට කියයි අපේ දෙමව්පියො බෞද්ධ ඒක නිසා අපිත් එහෙමයි කියලා. නිකමට හිතල බලන්න ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීගන්න පුළුවන් 'බෞද්ධයො' කී දෙනක් අපි අතරෙ ඉඳීයි ද කියල. ගෞතම සංදේශය තුළින් අපේ කතිකාවත අද දිගහැරෙන්නේ මේ ආකාරයට යි..... අසල්වැසි ඉන්දියාව කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියේ උල්පතක්. ඒ බුදුන් උපන් දේශය නම් තමා. නමුත් වර්තමාන ඉන්දියානුවො අපි තරම් වාසනාවන්ත වුනේ නැහැ ඒ බුදු සුවඳ අදටත් විඳින්න. සාගරයක් මැද පුංචි දූපතක තනි වෙච්ච අපි ඒ අතින් කොයි තරම් නම් වාසනාවන්ත ද..... බුද්ධ කාලයෙන් පස්සෙ බලවත් වුන මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් ඒ අසිරිමත් බුදු සුවඳ දඹදිව් තලයෙන් වියැකා දමන්නට මැනවින් වගබලා ගත්තා. බුදු වදන නොසළකා හිතුවක්කාර වුන චීවරධාරීනුත් ඒ මහා විපතේ ප්‍රධාන කොටස් කාරයන් වුනා. අතීතයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි ඒ උතුම් ධර්මය මැනවින් සුරැකුනු මේ ධර්මද්වීපයේ 'අපි' අද ඉන්නෙ කොතැනද....?
අපි හැම දෙනාම පෙර පින් බලේකට සකස් වෙච්ච කරුණු කාරණා එක්ක අද මේ විදියට උතුම් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඉන්නවනෙ. අපි යමු අපි පටන් ගත්ත තැනට...... ඒ කිව්වේ මව් කුසට. අපි මව් කුසේ පිළිසිඳ ගත්ත..... ඒ තුළ හැදුනා වැඩුනා දස මසක් ම..... මෙලොව එළිය දුටුවා....... ඔබටවත් මටවත් දෙමව්පියන්ටවත් ඕන හැටියට නෙවේ.... අපි කලින් සිදු කරල තිබුනු කර්මයන්ට අනුව. ඒ හේතූන්ට අනුව ඵලයක් හටගත්තා. නමුත් ඒ දෙමව්පියො උපන් දරුවගෙ මූණ බලන්නත් කලින් බැලුවෙ මොකක් ද...... හැමදාම බලන කෙහෙල්මල් ඔරලෝසුව. ඒ දරුවව තුරුළු කරන් සිපගන්නත් කලින් බදාගත්ත බමුණගෙ මිථ්‍යාව...... එල්ලුනා බමුණගෙ සාටකේ. තනියම නෙවේ..... අර අලුත උපන් කිරි දරුවත් එක්කම. හැබැයි මේ වෙන කවුරුවත් නෙවෙයි.... උදේ හවස 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන බෞද්ධයො. ඉතින් ඒ විදියට උපන් දරුවගෙ ඉන් පස්සෙ මොන දේද නැකතකින් තොරව සිද්ධ වෙන්නෙ.....? නිකමට හිතල බලන්න.
දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන. 1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි..... 2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි...... 3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි..... මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... ඔය ළමා කාළෙදි. ඔය අතරතුරේදි කොයිතරම් නම් දේවල් කරනවද....? අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන පිරිසක් ගැන. ඉතින් අර උපන් දරුව ටිකක් ලොකු වෙලා ඔන්න අකුරු කියවනවා. ඉස්සරහින්ම 'ඝණ'..... දකුණු පැත්තෙ 'ලක්ෂ්මී'....... වම් පැත්තේ 'සරස්වතී'........ ඕං කට්ටියගෙ තිසරණේ. අපි සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද? ඒ උතුම් බුදු සසුනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ප්‍රඥාවක් තිබුනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ධාරණ ශක්තියක් තිබුනෙ ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් ඒ අය පැත්තකට දාල අපි කාවද මේ සරණ ගිහින් තියෙන්න….? කියන්නං වාලෙ 'බුද්ධං සරණං ගච්ඡාමි' කියල අර විකෘති රූප කාය තියෙන කෙලෙස් සහිත අය සරණ ගියාම කොයින්ද තිසරණ සරණක්? පිනට ලැබුන මොළේ පෙට්ටගමේ දාල, කරන්න තියෙන මෝඩකම් ඔක්කොම කර කර කියනවා "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදුහාමුදුරුවනේ" කියල.
ළමා කාළය ගෙවිලා වැඩි වියට එන දරුවට ඔන්න කරල දෙනවා 'හිරයක්'.... (වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම 'හිරයක්'....!!!) බමුණා ආයෙත් එනවා කරළියට. කේන්දර නැකැත් ලෝකයයි. මුළු ජීවිතයම මේ කොළ කෑල්ලකට, අංක කීපෙකට යට වෙලා. තවත් කෙනෙකුට ඕන විදියට. වැසිකිළි කැසිකිළි යන්නත් කෙනෙක් වෙලාව බැලුවත් පුදුම වෙන්න එපා. ඒ තරම්ම මිනිහගෙ පෞරුෂය පිරිහිලා. හැබැයි කතා කරන්නෙ ස්වාධීන, ධනාත්මක චින්තනය ගැන. මොළේ කළඳක් හරි තියෙන අය විදියට මොහොතක් හිතල බලන්න. මේ නැකැත් සුභ නිමිති සරණ ගිහිල්ලා අපිට වෙලා තියෙන 'සෙත' මොකක්ද කියල. (කේන්දර, සාස්තර කරුවන්ට නම් සෙතක් වන බව සැබැවි ) කෝ අපේ දියුණුව? මේ බලන නැකැත්, සුභ නිමිති වල හැටියට ලාංකිකයා ලෝකයේ සෞභාග්‍යවත්ම ජාතියක් වෙන්න ඕන. නමුත් මෝඩ කමට බෙහෙත් නැති නිසා සෞභාග්‍යයෙන් 'සෞ' හැලී ඒ වෙනුවට 'අ' යන්න එක්වෙලා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තාමත් මේක තේරෙන්නෙ නැති එක. නැකැත් බලල කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් අසාර්ථක වෙනවා. රටේ නැති හේතු. ඉතින් නැකතට පටන් ගත්ත නම් ඔය ඔක්කොම හේතු සුභ වෙන්න එපායැ. නැකතකින් වෙන්න ඕන ඒකනෙ.
කාලෙන් කාලෙට ලංකාවට ආක්‍රමණ ආවා. සංක්‍රමණත් ආවා. දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මීය වශයෙන්. ලංකා ඉතිහාසයේ මේ අතරින් රන් අකුරින් සනිටුහන් වෙන්නේ 'මහින්දාගමනය' නෙ. රත්තරං වුනත් කාලයක් පාවිච්චි නොකර තිබුනහම දුර්වර්ණ වෙනව. දක්ෂ රන් කරුවන් ඒවා කාලයෙන් කාලෙට සුද්ද කරල ගන්න ඕනි එහෙම වෙනකොට. එහෙම නැති වුනොත් හොර තැරැව් කාරයො නොවටිනා ලෝහ දීලා අර රත්තරං හොරකං කරගන්නවා. ලංකාවෙ බුදු දහමටත් ඔන්න ඔය විපත්තිය වුනා. ඊට පස්සෙ තමා මේ ටිකෙන් ටික තිසරණය ගිලිහිලා ඈත තියෙන ග්‍රහ ලෝක සරණ ගියේ. ගස් ගල් සරණ ගියේ. කේන්දර, සුභ නිමිති සරණ ගියේ. දිසාවන් සරණ ගියේ. බුදුන් පිට දුන් බෝධියෙ 'හිරුගෙ අපල දුරු වේවා' කියල කොඩි එල්ලුවෙ..... සෙත්කවි කිය කිය ප්‍රාර්ථනා කළේ..... එතනින් නැවතිලා නැහැනෙ. නානාප්‍රකාර දේවල්.
මේ හැම දෙයින්ම මොට වුනේ මිනිසාගෙ සිතීමේ හැකියාව. කොහේ හරි කවුරුහරි කියන ඕනම දෙයක් පිළිගන්න තරම් මනස දීන වෙලා. ඒ මිථ්‍යා මත අතරෙ මුළු ජීවිතයම හිරවෙලා, අසරණ වෙලා ගිහිල්ලත් ඒක තේරුම් ගන්න, ඒකෙන් මිදෙන්න බැරි වෙලා. ඔයගොල්ලොම හෘදසාක්ෂියෙන් අහල බලන්න...... කේන්දර, නැකැත් නොබලා විවාහයක් කරන්න තරම් ශක්තියක්, විශ්වාසයක් ඔයාලට තියෙනවද? අලුත් නිවසකට ගොඩ වදින්න, ව්‍යාපාරයක් පටන් ගන්න ඔය බමුණන්ගේ සාටකේ අතහැරලා......? ඔබම මැනගන්න ඔබේ තිසරණය.
අපි බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බෞද්ධයො. බුදු වරයෙක් දේශනා කරන්නේ දුකින් නිදහස් වන දහමක්. දුකින් නිදහස් වන මාර්ගයක්. ඒ අංග අටකින් යුතු උතුම් මාර්ගයේ පළවෙනි අංගය 'සම්මා දිට්ඨිය'...... නමුත් මේ බෞද්ධයන්ට නැති වුනෙත් ඒකමයි. මුළම වැරදිලා..... "ඇරඹුම ම වරදක් වෙලා...." ඉතින් ඉතුරු හරිය ගැන කවර කතාද....? බුද්ධ රාජ්‍ය යළි ගොඩනගන්න අපි කතා කරනවා. තමාවත් තිසරණයේ පිහිටන්නේ නැතුව රාජ්‍ය කොහේ බිහි කරන්න ද? ගිහි පැවිදි දෙපක්ෂයම අද මේ බමුණු මිථ්‍යාවට ගොදුරු වෙලා. දුකින් මිදෙන පැවිද්ද දෙන්නෙත් නැකතට. ගිහියන්ගේ කේන්දරේ බලන්නේත් පන්සලේ. ඉතින් හෙට දවසට බුදු සසුනක් ඉතිරි වේවිද.....? හැබැයි අපි තාමත් ප්‍රමාද නැහැ.
දවසක් බුදුරජාණන් වහන්සේ ලඟට ආපු බමුණෙක් අහනවා "භාග්‍යවතුන් වහන්ස, මිථ්‍යා දෘෂ්ඨිකයකුට සුගතියෙ උපදින්න ඉඩක් ඇත්තෙම නැතිද" කියලා. උන්වහන්සේ වදාරණවා "පින්වත් බමුණ, මම දැන් කල්ප 91ක් ආපස්සට බලනවා. ඒ කල්ප 91ටම එකම එක මිථ්‍යා දෘෂ්ඨික කෙනෙක් සුගතියෙ ගිහිල්ල තියෙනවා. හැබැයි එයාත් කර්ම-කර්ම ඵල විශ්වාස කළ කෙනෙක්"........ දැන් පේනවා නේද මොහොතක සුවය, සැපත සොයාගෙන මිථ්‍යා දෘෂ්ඨිය පස්සෙ ගිහිල්ල අපි අපිටම කරගෙන තියෙන විපත්තිය.... උතුම් තිසරණය අතහැරල නොපෙනෙන අවිද්‍යාවන් පස්සෙ ගිහින් අපි වැටිල තියෙන අමාරුව...?
ප්‍රමාද වෙන්න එපා තවත් නම්. තේරුම් ගන්න..... හැම ආගමකම කියන්නෙ එකම දේ නෙවෙයි. මේක සසර දුකට වැටුනු සත්වයා එයින් මුදවන දහමක්. පුහු කාමයන්ට වලට වසඟ වෙලා රුපියල් සත වලට යට වෙලා තමුන් සරණ ගිය උතුම් තිසරණය, ඒ අකාලික වූ ධර්මය, ඒ විජ්ජාඡරණ වූ ශාස්තෲන් වහන්සේව පවා දෙන්න එපා. අප්‍රමාදීව ධර්මයටම පැමිණෙන්න. තිසරණයම සරණ කර ගන්න. ළඟ නොබලන්න. දුර බලන්න. සදාතනික සැපය උදාකරගන්න.
බලන්න මේ වීඩියෝ එකත් - Click here
‘ගෞතම සංදේශය’
- මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....




















45