කාට ද මේක තේරෙන්නේ...?

රට්ඨපාල මහරහත් තෙරුන් වදාළ ගාථා කිහිපයක්...
පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.
පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච,
අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති.
මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණ ත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.
අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.
දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
අට්ඨපාදකතා කේසා නෙත්තා අඤ්ජනමක්ඛිතා,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.
කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.
මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.
ඕදහි මිගවෝ පාසං නාසදා වාකරං මිගෝ,
භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්ධකේ’ති
මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.
(රට්ඨපාල තෙරුන්ගේ ගාථා - මජ්ඣිම නිකාය 2 - රට්ඨපාල සූත්‍රය)
තෙරුවන් සරණයි
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....
"ආං බලාපන්.... උඩහ ගෙදර ඇසිලියා රට ඉඳල ඇවිල්ල. අර.... අර ටැලිවිසොං පෙට්ටියකුත් ගෙනල්ල. මගෙ අප්පේ.... ඒක ලොකු! දැන් ඉතින් ගමටම ඇහෙන්න පේන්න ඕක දාගෙන ඉඳීවි මහ උජාරුවට. හ්ම්හ්... උන්ට හරිගියා. ඒකට බලාපල්ල අපේ ගෙදර.... කපුටු කූඩුවක් විතර ඇති ටැලිවිසොං එක. කොහෙද ඉතින් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැනෙ. කොච්චර කිව්වත් වැඩක් නැහැ."
….ඒ වැට අද්දර උන් සිරියලතා අල්ලපු ගෙදර මැගිලින් එක්ක ඉරිසියාවෙන් පුපුරමින් කළ කතාබහක කොටසක්.
"පුතේ උඹ ඔය ගෙදර ප්ලෑන් එක අඳින මනුස්සයට කියාපන් ගේ කොහොම හරි තට්ටු 3 ට ප්ලෑන් කරන්න කියලා. ඉස්සරහ ගෙදරත් තට්ටු 2 යි. අල්ලපු ගෙදරත් තට්ටු 2 යි. ඒ දෙකටම වඩා උසට අලුත් ගේ හදන්න ඕන ඕකුන්ට තරු පේන්න. ගෙදර ඉන්නෙ උඹයි, මායි, අප්පච්චියි විතර වුනාට කමක් නැහැ."
….නව නිවසක සිහින මවන මහේෂ්ට තම අම්මාගෙන් ලැබුනේ එවැනි දැනමුතු කමකි.
"බලන්න චමින්ද..... ඔයා නම්කිසි වැඩකට නැහැ. ඔයාට තාම බැරි වුනා පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න. ඔයා පොඩ්ඩක්වත් උනන්දු වෙන්නෙ නැහැ. දැන් බලන්න සුරේනිගෙ පුතා.... එයා රෝයල් යන්නෙ. කාන්චනාගෙ පුතාල දෙන්නම රෝයල්. ඉස්සරහ ගෙදර අනුලගෙ ලොකු පුතා ආනන්දෙ.... පොඩි පුතා ඩීඑස්. ඒ ගොල්ලො වෑන් වල නැගල ඉස්කෝලෙ යනකොට අපේ පුතා විතරක් තාම පයින් යනව ගෙවල් ලඟ ඉස්කෝලෙට. වස ලැජ්ජාවනෙ චමින්ද."
....නෝක්කාඩුවෙන් සිටි හර්ෂනී තම ස්වාමිපුරුෂයා සමඟ මොහොතක් දොඩමළු වුනේ ඒ විදියට.
උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ,
මේ වගේ කතා අපේ සමාජයේ අළුත් දේවල් නෙවෙයි නෙ. බුදු පහස ලද බිමක, බුදු බණ ඇසෙන මායිමක ඉන්න මේ මිනිස්සුන්ට කොතනද වැරදුනේ? ගොඩක් අය ඕකට කියන්නෙ සුව කරන්න බැරි රෝගය කියල....බුදු රජාණන් වහන්සේ අපට පෙන්වාදීල තිබෙනවා මනසේ ඇති වෙන මේ වගේ ලාමක රෝග සුවකරන්න පුලුවන් බව.
අනුන්ගේ දේට ආසා කිරීම, අනුන්ගේ සැපත ගැන ඇතිවෙන ඉරිසියාව, අනුන් සතු දේ තමන් සතු වේවා ආදී මේ තුඡ්ච හිතේ ඇතිවෙන පහත් හැඟීම් මේ සංසාර සාගරේ ගිලෙමින් ඉන්න සත්වයින්ට බොහෝ කාලයක් අහිත පිණිසම පවතින බවයි අප සරණ ගිය ඒ භාග්‍යවතුන්වහන්සේ පෙන්වා වදාළේ. ඔයාලම නිකමට හිතල බලන්න.... තව කෙනෙක් දියුණු වෙන දිහා බලල අහිංසකව සතුටු වෙන්න බැරි හදවත් කී කෝටියක් නම් අපට හමුවෙනව ද....? මේ හදවත් මේ තරම් දරුණු වුනේ කොහොම ද....?
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන්ම පෙන්වා වදාළා මේ වගේ පහත් හැඟීම් අකුසල මූලයන් විදියට ක්‍රියාත්මක වෙලා අපව නිරය කරා රැගෙන යන කර්ම පවා අප විසින් සිදු කරන තත්වයට අපව පත් කරන ආකාරය. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. කලින් කතා කලේ කාන්තා පක්ෂයේ ඉරිසියාව ගැනනේ. බලමු පිරිමි හිතක ඒ වගේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න මොන විදියට ද කියලා......
ඔන්න විවාපත් යුවලක් ඉන්නව..... අසේල-රෝහිණී. අවුරුදු 5 ක්ම ප්‍රේම කරලයි අමාරුවේ වැටිල තියෙන්නෙ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ.... මොකද අහවල් දේ අන්ධයි කියලත් කියනවනෙ. ඉතින් කොහොම හරි බැඳපු දා ඉඳල රෝහිණී, මෝහිණී වෙලා. ඉතින් අසේල හැමදාම ඉන්නෙ කණස්සල්ලෙන්. ඔය අතරෙ මෙයාට දකින්න ලැබෙනව ආදරෙන්, පිළිවෙලකට පවුල්කන ලස්සන ජෝඩුවක්. මෙයාගෙම මිත්‍රයෙක්. නොදැනුවත්වම මෙයාගෙ හිතේ පුංචි ඉරිසියාවක් ඇති වෙනව මේ දෙන්න ගැන. මොකද මෙයාට නැති දේ එයාලට තියෙනව. අන්න අකුසල් මුල් ක්‍රියාත්මක වෙනව. ලෝභ-ද්වේෂ-මෝහ අකුසල් වලට පාර විවර වෙනව. හිතේ ඉරිසියාව ඇති උනා. ඇතිවුන අකුසල් සිතේ ආදීනව දන්නෙත් නැති, ප්‍රහාණය කිරීමක් ගැන දන්නෙත් නැති මෙයාගෙ හිත ඒ අකුසල මූලය ඔස්සේම ක්‍රියාත්මක වුනා. ද්වේෂය ඇති වුනා. අර පවුල බිඳවන්න හිතක් පහළ වුනා. ඒ මිනිස්සු මෙයාට මොන වරදක් කළාට ද....? ඒත් බලන්න දමනය නොකරපු හිතක තියෙන භයානක කම. අර ඇතිවුන ඉරිසියාව හින්දනෙ මේ ඔක්කොම. ඉතින් මේ කෙනා විවිධ මායම් දාල අර මිත්‍රයාගෙ බිරිඳව වැරදි කාමසේවනයට යොමු කරගන්නව. එක්කො මිත්‍රයව යොමු කරවනව. එහෙම නැති නම් වෙන කෙනෙක් ලව්වා ඒ දේ කරවනවා. ඉතින් ඒ පවුලට යන කළදසාව ගැන අටුවා-ටීකා ඕන නැහැනෙ. බලන්න මිතුරනේ වටිනා මනුස්ස ජීවිතයක් ලබපු අසේලට සිද්ධ වුන දේ. එයා කොහෙන් නම් නවතීවි ද? මනුෂ්‍ය චිත්ත සන්තාන තුළ සිදු වෙන, සිදු වෙන්න පුළුවන් මේ දේවල් සියැසින්ම දැකල අප හට වදාරණ ලද්දේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ විසින්ම නෙ.
අපි අපි ගැනම මොහොතක් හිතල බලමු. ඔයාටත් මටත් වටිනා, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිල තියෙනව. අතිශය වටිනා, දුර්ලභ ධර්මයක් ලැබිලා තියෙනව. මේ ඇත්ත තේරුම් අරගෙන තියෙන්න කීයෙන් කී දෙනාද??? හැමෝම හිතාගෙන ඉන්නෙ මේ ආත්මේ ඉන්න පුළුවන් තාක් කල් ඉඳල මැරිල ගිහිල්ල ඊලඟ ආත්මෙ මීට වඩා හොඳ සැපවත් ජීවිතයක් ලබන්නනෙ. මොන තරම් මුලාවක් ද? හැමෝටම තමුන් හිතන පතන විදියට ඒ දේවල් එහෙම සිද්ධ වෙනවනම් මේ ලෝක කිසිම ප්‍රශ්නයක් නැහනෙ. මේ ලෝක සුර පුරයක් වෙයිනෙ එහෙම උනොත්. ඔන්න ඔය මුලාවෙන් ගැලවුන කෙනා ජයග්‍රනයේ මාවතට පිවිසෙනවා. අන්න එයාටයි ධර්මය විවර වෙන්නේ. අන්න එයයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ.
මේ විෂමකාරී දෘෂ්ඨිගත ලෝකෙ මිනිස්සු එකම පොදියක හිරවෙලා. මහා මුලාවක පැටලිලා. හැමෝම දුවනවා රේස් එකක..... ජය කණුවක සේයාවක්වත් නොපෙනෙන. හැමෝම පැටලිලා මහා යුද්ධයක...... තමුන් සටන් වදින්නේ කුමක් සඳහා ද වත් නොදැන.
මිනිසුනේ.... පාදාගනු මැන දෑස්......
උදෙසා, දහම තුළින් නිවී සැනසුන ජීවිතයක්!
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......
සැබෑ මව් පිය උපස්ථානය
ඔයාට මතක ද ඔයා ගේ පුංචි කාලේ ? බඩගින්නට පිපාසෙට, උණුසුමට සීතලට, මේ හැමදේට ම අඬන්න විතර යි අපි ඒ කාලෙ දැන ගෙන හිටියෙ. ඒ කාලෙ දි අපේ පිහිටට හිටියේ ආදරණීය අම්ම යි තාත්ත යි විතර යි. ඔයා වෙනුවෙන් මං වෙනුවෙන් අම්ම ගෙ තාත්ත ගෙ හිතේ තිබුණෙ, අදට ත් තියෙන්නේ අසීමිත කරුණාවක්. ඒ අතරිනුත් සමහර විට අම්ම ඔයාට ගොඩාක් සමීප ඇති. මව් සෙනෙහසේ තරම තේරුම් ගන්න මං ඔයාට එක සිදු වීමක් කියන්නම්.
මේ සිදුවීම සිදු වුනේ මීට ටික කාලෙකට ඉස්සර. එදා මං ඉස්කෝලෙ යන්න සූදානම් වෙලා බෑග් එක ත් කරේ එල්ලගෙන, පාර අයිනෙ තියෙන බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකම් බලාගෙන හිටිය. ඒ බස් හෝල්ට් එක තිබුණේ ලස්සන පුංචි පන්සලක් ළඟ. පන්සල් වැටේ පේලියට හිටවල තිබුණ රතු අරලියා ගස් වල මල් හුළඟින් බිමට වැටිල සුන්දර දර්ශනයක් තමයි මැවිල තිබුණෙ. ඉතින් මං ඒ මල් දිහා ම බලා ගෙන හිටිය නිසා වාහනයක් වේගෙන් ඇවිල්ල පන්සල ඉස්සරහා ම නවත්වනකම් දැක්කෙ නෑ. ඒ වාහනේ පුංචි කැන්ටර් වර්ගයේ එකක්. වාහනෙන් හොඳට ඇඳ පැළඳ ගත්ත මනුස්සයෙක් බිමට බැස්සා. පිටිපස්සෙ දොර ඇරල බැලි කික්කියෙකු යි පුංචි බලු පැටව් තුන් දෙනෙකු යි බිමට දැම්මා. තමන් ව වාහනයෙන් බිමට ඇදල දැම්මත් ඒ බැලි කික්කි අර (බලු) මහත්මයා දිහා බොහෝ ම ලෙන්ගතු විදියට තමයි බැලුවේ. එහෙම බලල නැට්ට වැනුව. ඔලුව පාත් කෙරුව. අර මනුස්සයා ටක් ගාල වාහනේට නැගල වාහනය පණ ගන්ව ගත්තා.
වාහනය ඉස්සරහට යන්ට පටන් ගත්තා විතරයි තමන් ගේ පැටවුන් එක්ක තනි වුන අර අසරණ සතා විලාප තියන්න පටන් ගත්තා. වාහනේ පස්සෙන් දුවගෙන ගියා. ටික දුරයි දුවගෙන ගියේ තමන් ගේ පැටව් ටික මතක් වුනා. ආපහු පැටව් ඉන්න තැනට දුවගෙන ආව. ඒත් එක්ක ම ඒ සතාට තමන් ව පැටව් ටිකත් එක්ක තනි කරල යනව නේ ද කියල හිතෙන්න ඇති. ආයෙමත් වාහනේ යන පැත්තට ටික දුරක් කෑගහගෙන දුවගෙන ගියා. ආයෙමත් පැටව් ඉන්න තැනට ආවා. මේ සිදු වීම දිහා මට නම් තව දුරටත් බලා ගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ. මට වෙන කරන්න දෙයක් තිබුණෙ ත් නෑ. මට එදා ඉස්කෝලෙ ගමන එපා වුනා. එහෙම ම හැරිල ගෙදර ආවා. ඒත් මට මතක් වෙන්නේ ම අර සිදු වීම ම යි. මේක මට මගේ හිතින් අයින් කරගන්න බැරි වුනා. හැන්දෑ වෙනකොට මට හොඳට ම උණ ගත්තා. අදට ත් මේ සිදු වීම මතක් වෙනකොට මට සංවේගයක් ඇති වෙනවා. සමහර විට ඒ බැලි කික්කි තමන් ගේ පැටව් ටික ත් අරගෙන අර පුංචි පන්සලට වත් යන්න ඇති.
ඉතින් යාලුවේ... හොඳට ඇඳ පැලඳගත්ත, මහත්මයෙක් කියල සමාජයේ සම්මත කෙනෙක් දරුවො තුන් දෙනෙක් එක්ක අම්ම කෙනෙක් ව තනි කරලා දාල කිසි දෙයක් නො දන්න කෙනෙක් වගේ ආපහු ගියෙ අන්න එහෙම යි.
දැන් හිතන්න... ඒ බලු පැටව් ටික ගැන. ඒ පැටවුන්ට තමන් ගේ අම්මා නො හිටියා නම් මොන තරම් අසරණ වෙන්න සිද්ධ වෙනව ද?... ඒ අසරණ භාවය ඒ පුංචි පැටවුන්ට එදා තේරුනේ නෑ. නමුත් අම්මට තේරුනා.
අපේ ජීවිත ත් ඒ වගේ ම තමයි .. පුංචි කාලෙ දි අපි කිසි දෙයක් නො දන්න අසරණයො වෙලා ඉද්දි අපිට හැම අතින් ම පිහිට වුනේ, දෙමව්පියෝ. ඒ මව් පිය උණුහුමේ පුදුමාකාර රැකවරණයක් තියෙනවා. අම්ම ළඟ ඉන්නවා නම් කන්න නැතත් ජීවිතේට සතුට තියෙනවා. ඒත් ලොකු වෙනකොට ගොඩාක් දරුවන්ට ඒ හැම දෙයක් ම අමතක යි. පුංචි කාලෙ දි අම්මගෙ ම අතේ එල්ලිලා ඉස්කෝලෙ ගිය දරුව, ටික ටික කර දඬු උස් මහත් වෙනකොට 'මේ මගේ අම්ම' කියල තමන් ගෙ අම්ම ව යාලුවන්ට පෙන්නන්නත් ලැජ්ජා වෙනව. අන්තිමේ දී සමහර නො මිනිස් දරුවො තමන් ගේ අම්ම ව තාත්ත ව මහ මග අතෑරල දාල යනවා.
හිතන්න..... කිසි දෙයක් කර කියා ගන්න බැරි ඒ අහිංසක අම්ම තාත්ත එදාට කොයි තරම් නම් අසරණ වෙයි ද? අම්මල තාත්තල අපි පොඩි කාලෙ දි අපේ ජීවිත ගැන හිතුවෙ බොහො ම ලොකු වගකීමක් හිතට අරගෙන. ඒ වගේ ම බොහො ම බැරූරුම් විදියට. ඒක නිසා යාලුවේ... අපිත් අපේ දෙමව්පියො ගැන බොහොම වගකීමෙන් හිතන්න ඕනෙ. බැරූරුම් විදියට හිතන්න ඕනෙ.
කොහොම ද ඒක කරන්නේ. අවරන්ගිර මුදුනේ බබලන හිරු මඬල වගේ මේ මුලු ලෝකය ම ප්‍රඥාවෙන් එළිය කරවන ඒ බුදු රජාණන් වහන්සේ අම්ම ගැන තාත්ත ගැන හිතන්න ඕන විදිය අපිට කියල දුන්නා.
යම් කිසි දරුවෙක් තමන් ගේ අම්ම ව එක උරහිසක ත් තාත්ත ව අනෙක් උරහිසෙත් තබාගෙන, අවුරුදු සීයක් ම බිමට බස්සන්නෙ නැති ව උපස්ථාන කළත්, අම්මට යි තාත්තට යි කෙළෙහි ගුණ සළකළ ඉවර කරන්න බැරි බව තමයි මගේ බුදු මෑණියන් වහන්සේ දේශනා කොට වදාළේ.
එහෙනම් කොහොම ද අම්මට යි තාත්තට යි කෙළෙහි ගුණ සළකල ඉවර කරන්න පුලුවන් වෙන්නේ. ඒක කරන හැටි ත් බුදු පියාණන් වහන්සේ ඔයාට, අපිට පෙන්වලා දුන්න.
ඔයා ගේ අම්මට තාත්තට බුදු රජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන ශ්‍රද්ධාවක් නැත් නම්, ඒ අය ගේ සිත් තුළ ශ්‍රද්ධාව ඇති කරවන්න. ඒ අය සිල්වත් නැත්නම් බලෙන් හරි සිල් පද පහ රක්කවන්න උත්සාහ කරන්න. ඒ වගේ ම ඒ අයට මේ සංසාරේ ගැන, සංසාරෙන් නිදහස් වෙන එක ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන ධර්මය හොඳට කියල දෙන්න. කොහොම හරි ඒ ගොල්ලන් ව බණ භාවනා වලට යොමු කරවන්න. අන්න ඒක තමයි තමන් ගේ අම්ම තාත්ත වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් ලොකු ම උපකාරය. මොකද දන්නව ද?
ඔයාගෙ ඔය අම්ම තාත්ත ම, ඔයා වගේ දරුවො වෙනුවෙන් සංසාරෙදි අඩපු කඳුලු එකතු කෙරුවොත් මේ සිව් මහා සමුදුරේ ජලයට ත් වඩා වැඩියි කියල යි බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තුළින් අපිට දැන ගන්ට ලැබෙන්නෙ. යම් විදියකින් අම්ම ව යි තාත්ත ව යි දහම් මාවතට යොමු කරවල ඒ ඇත්තන්ට මේ සංසාරෙන් නිදහස් වෙන්න අවස්ථාව උදා කරල දුන්නොත්, ඔයා සිද්ධ කරන්නේ තවත් ඉස්සරහට ඒ අය ගේ ඇස් දෙකෙන් කෙළවරක් නැති ව ගලාගෙන යන්න තියෙන කඳුළු ගංඟාව නතර කරන එක යි.
අන්න ඒ නිසා දයාබර යාලුවේ... ඔය ත් බුදු රජාණන් වහන්සේ පෙන්වල දුන්න විදියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ගමන් ම තමන් ගේ අම්ම ව යි තාත්ත ව යි බුදු රජාණන් වහන්සේ පෙන්වල දුන්න ඒ උතුම් දහම් මාවතට කොහොම හරි යොමු කරවන්න. ඒ පින ම ඔයාට මේ දුක්ඛිත සංසාර චාරිකාවෙන් නිදහස් වෙන්න ප්‍රමාණවත් වේවි.
ඉතා ඉක්මණින් ම ජීවිතාවබෝධය වේවා!
ඔයාට බුදු සරණ යි!
(කලකට ඉහත දී lastfoundation හි පළවූ ලිපියකි.)
මොහඳුරෙන් මිදෙන්නට නම්.....
මේ අවිද්යාව නිසා ඉපදෙන මැරෙණ සංසාරෙ හැදෙන හැටි, දුක හැදෙන හැටි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්වල දීල තියෙනව. ඔන්න කඳු මුදුනකට විශාල බිංදු සහිත වැස්සක් වහිනව. ඒ වතුර පහලට ගලාගෙන ඇවිත් කඳු බෑවුමේ තියෙන පොඩි වලවල්, කුඩා දිය අගල් පිරෙනව. ඒ වලවල්, කුඩා දිය අගල් පිරිල ගිහින් ඊට ලොකු වලවල් වතුරෙන් පිරිල යනව. ඒ වලවල් වතුරෙන් පිරිල ගිහින් මහා වලවල් පිරිල යනව. මහා වලවල් පිරිල ගිහින් කුඩා ගංගා වතුරෙන් පිරෙනව. කුඩා ගංගා එකතු වෙලා මහා ගංගා වතුරෙන් පිරිල යනව.
අන්න ඒ විදියට....
· අවිද්යාව නිසා සංස්කාර ඇති වෙනව
· සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වෙනව
· විඤ්ඤාණය නිසා නාමරූප ඇති වෙනව
· නාමරූප නිසා ආයතන හය ඇති වෙනව
· ආයතන හය නිසා ස්පර්ෂය ඇති වෙනව
· ස්පර්ෂය නිසා විඳීම ඇති වෙනව
· විඳීම නිසා තණ්හාව ඇති වෙනව
· තණ්හාව නිසා බැඳී යාම ඇති වෙනව
· බැඳීයාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනව
· විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදෙනව
· ඉපදීම නිසා සියළුම දුක් හටගන්නව
යමකු මෙම දුක් ස්වභාවය තෙරුම් ගතහොත්....
· දුක තේරුම් ගැනීම නිසා ශ්රද්ධාව ඇති වෙනව
· ශ්රද්ධාව නිසා ප්රමුදිතභාවය ඇති වෙනව
· ප්රමුදිතභාවය නිසා ප්රීතිය ඇති වෙනව
· ප්රීතිය නිසා සිතත් කයත් සැහල්ලු වීම ඇති වෙනව
· සිතත් කයත් සැහල්ලු වීම නිසා සැපය ඇති වෙනව
· සැපය නිසා සමාධිය ඇති වෙනව
· සමාධිය නිසා යථාභූත ඥාණය ඇති වෙනව
· යථාභූත ඥාණය නිසා කළකිරීම ඇති වෙනව
· කළකිරීම නිසා නොඇල්ම ඇති වෙනව
· නොඇල්ම නිසා නිදහස් වෙනව
· නිදහස් වීම නිසා සියල්ල නිවැරදිව සම්පූර්ණ ලෙස වටහා ගැනීමේ නුවණ ලැබෙනව
කෙලෙස් දුරු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ උපනිස සූත්රයෙන් පහදල දුන්නෙ ඔන්න ඔය විදියටයි....

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා!!!
අවාසනාවට ඇත්ත කතාවක්...
දයාබර යාලුවේ,
මම මේ කියන්න යන කථාව ඔබ හැම කෙනෙක් ම වගේ මීට කලින් කියවල ඇති.. නමුත් ආයිමත් කියන්න ඕන කියල හිතුනේ, ජීවිතේ තිබෙන අනතුර නිතර නිතර කල්පනා නො කළොත් අපි ප්‍රමාදයට වැටෙන නිස යි.
බලන්න මේ පිංතූරෙ දිහා.. මේ ඉන්නෙ Jacqueline Saburido. මේ පින්තූරෙ අරන් තිබෙන්නෙ 1999 අවුරුද්දෙ ..1978 දෙසැම්බර් 20 වෙනිද තමයි ධනවත් පවුලක එක ම දරුවා හැටියට වෙනිසියුලාවේ Caracas වල දි ඇය මෙලොව එලිය දැක්කෙ.. ඇගේ පියා නිශ්පාදය කර්මාන්තශාලා හිමි කරුවෙක්.. පවුලේ එක ම දරුවා හැටියට ඇය ලස්සන සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා.
යම් දවසක තමන් ගෙ තාත්තගෙ ව්‍යපාර කටයුතු වලට උරුමකාරිය වීමේ බලාපොරොත්තුව හිතේ දරාගෙන ඇය ඉංජිනේරු ශිෂ්‍යාවක් හැටියට තමයි ඉගෙනීම් කටයුතු කරගෙන ගියේ.
කර්මය සත්වයා ව මෙහෙයවන හැටි අපිට හිතා ගන්නවත් බෑ.. 1999 අගෝස්තු මාසෙදි, තමන් ඉගෙන ගනිමින් සිටිය කොලේජ් එකෙන් ටික කාලෙකට සමු ගත්ත ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සදහා Texas වෙත ගියා..
එක දවසක් රෑ යාලුවො කට්ටියක් එක්ක ඇය උපන්දින පාටියකට සහභාගී වුනා. කෑව බීව, නැටුව ගැයුව, විනෝද වුනා. පාටිය ඉවර වුණාට පස්සෙ Jacqueline සහ ඇගෙ යහලුවන් හතර දෙනෙක් Oldsmobile වර්ගයේ වාහනයකින් ගෙදර එමින් සිටියා. හරියට ම කියනව නම් එදා 1999 සැප්තැම්බර් මාසෙ 18 වෙනිදා..පාන්දර...
Jacqueline ඇතුළු යාලුවො ටික ගෙදර එමින් ඉන්න කොට ඒ මාර්ගයේ ම Reggie Stephey කියන 17හැවිරිදි තරුණයා තමන් ගේ යහලුවන් පිරිසක් සමග මත් පැන් පානය කරල ආපසු තමන් ගේ නිවෙස බලා යමින් හිටියා. ඔහු දක්ෂ පුට්බෝල් ක්‍රීඩකයෙක් වගේ ම උසස් පාසල් ශිෂ්‍යයෙක්. මත් පැන් පානය කළා ම වාහනයක් තියා තමන්ට තමන් ව වත් හසුරුව ගන්ට බැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ..
ඉතින් Texas වල Austin වලට ආසන්න ප්‍රදේශයක දී මං තීරු හතරක් තිබ්බ අදුරු වීදියක දී, බමන මතින් හිටපු Reggie ධාවනය කළ ඔහු ගේ SUV රථය මාවතේ මැද රේඛාව හරහා පැමිණ Jacqueline ඇතුළු පිරිස ගමන් කළ රථයේ වේගයෙන් ගැටුණා.
අනතුර සිදු වූ සැනින් Jacqueline ගමන් කළ රථයේ සිටි ඇගෙ යෙහෙළියන් දෙදෙනෙක් එතැන ම මිය ගියා.. Jacqueline ගේ දෙපා වාහනයේ ඩෑෂ් බෝඩයට හිර වුණා. ඇයට කර කියා ගන්නට කිසි ම දෙයක් නැහැ. ඔවුන් ගමන් කළ රථය මොහොතකින් ගිනි දැල් වලින් වෙලී ගියේ Jacqueline ගේ ශරීරයේ සියයට 60 ක් ම තුන් වෙනි මාත්‍රයේ පිළිස්සුම් තුවාල (third-degree burns) වලට ගොදුරු කරවමිනු යි.
මේ තිබෙන්නේ ඇය ගමන් ගත් රථය අනතුරෙන් පසු දිස් වූ ආකාරය යි.
කුමක් හෝ හේතුවක් නිසා ඇගේ දිවි ගැලවුණා.
ඇගේ කෙස්, නාසය, තොල්, ඇගේ පෙනීමෙන් බොහෝ ප්‍රමාණයක් ඇතුළු බොහෝ දේ ඇයට අහිමි වුණා.
මේ වන විට ඇය ශල්‍ය කර්ම 150 කට වඩා වැඩි සංඛ්‍යාවකට මුහුණ දී තිබෙනවා..දැනටත් වෛද්‍යවරු ඇයව යම් කිසි හෝ මට්ටමක යථා තත්වයකට ගෙන එන්න මහන්සි ගන්නවා..
Jacqueline ගේ මුල් ඡායාරූප සහ අනතුරින් පසු ඡායාරූප සසඳා බලන්න..
මේ සංසාරය කෙතරම් නම් බියකරුයි ද..?
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇය කුඩා අවදියේ දී සිය දෙවම්පියන් සමග උපන්දින උත්සවයක දී සිටි ආකාරය යි..
මේ 1998 දී සිය පියා සමග ගත් ඡායාරූපයක්
ඇය යහලුවන් සමග පාටියක දී..
අනතුරින් පසු ශල්‍ය කර්ම 40 පමණ සිදු කිරීමෙන් අනතුරුව ඇගේ රූපය යි මේ..
ඇය රිය අනතුරේදී තත්පර 45 පමණ කාලයකු යි දරුණු ලෙස පිලිස්සීමට ගොදුරු වුණේ...
මේ අනතරින් පසු 2000 වසරේ දී පමණ ඇගේ පියා සමග ගත් ඡායාරූපයන්..

ඇයට ප්‍රතිකාර කරන ආකාරය...
ඇස් පිය නැති නිසා ඇය ගේ පේනීම පවත්වාගෙන යෑමට ඇසට eye drops දැමීම අවශ්‍ය යි.
බීමතින් රිය පැදවූ තරුණයාට අධිකරණයේ ඩොලර් 20000 දඩ මුදලක් සහ අවුරුදු හතක සිර දඩුවම් පැණවූවා.. දැන් ඔහු තමන් අතින් Jacqueline ගේ සහ අන් අයගේ ජීවිත වලට සිදු වූ වරදට දැඩි ව පසුතැවෙමින් කල් ගෙවනවා.
මේ අවුරුදු 4 කට පසු ඇගේ ඡායාරූපයක්..
දයාබර යාලුවේ..
තවත් එක් මනුස්ස ජීවියෙකුගේ සෝචනීය ජීවිත කතන්දරේ තමයි අපි ඒ කියෙව්වෙ.. සමහර තුවාල තියෙනවා කාලයත් එකක් සුව වෙලා යන ඒව..ඒත් ඒ තුවාල ත් එකක් රූපයට බැදිච්ච හිත තුවාල වුණොත් ඒක නම් ලෙහෙසියෙන් හොඳ වෙන්නෙ නෑ.. රූපය තමන් ගේ කියල අල්ල ගත්ත ඇය දැන් කොයි තරම් නම් සිතින් දුක් විඳිනවා ඇත්ද..?
ලෝකය පිහිටල තිබෙන්නේ දුක මත (දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ) කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය සනාතන එකක්. එදාට වගේ ම අදට ත් හැම කාලයකට ම ත් වලංගු එකක්. මේ වගේ සිදු වීම් සංසාරෙදි අපිට කොයි තරම් නම් සිදු වෙන්න ඇත්ද...? මිනිස්සු වෙලා ම ඉපදිලා බෙලි කැපුම් කාලා මිය ගිය අවස්ථාව වල ගලා ගෙන ගියපු ලේ එකතු කළො ත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩියි කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක හොදින් ම දුටු නිස යි.
සමහර අවාසනාවන්ත මිනිස්සු මේ බුදු සමිඳුන් ගේ වචන විශ්වාස කරන්නෙ නැහැ. බුදු රජාණන් වහන්සේ ට ලෝක සත්වයාව මුලා කරන්න කොහෙත් ම උවමනාවක් තිබුණෙ නැහැ. උන්වහන්සේ නිකෙලෙස් කෙනෙක්. සත්වයින් විදින මේ වගේ දුක් දැකල තමයි බුදු රජාණන් වහන්සේ ඒ සත්‍ය ලෝකයට දේශනා කළේ...
මේ සිදු වීම හෙට සිදු වෙන්නෙ ඔබට ද මට ද කියල කියන්න බෑ.. ජීවිතේ එච්චරට ම අස්ථීර යි. අනිත්‍ය යි. අවිනිශ්චිත යි.. අපිට මේ දේ නො වෙයි කියල කොහොම ද කෙනෙක් කියන්නේ...? හෙට අපිට මේ දේ සිදු වුනොත් මනසින් දුක් නො වී ඉන්න ඔබේ හිත ශක්තිමත් ද....? ඒක නැවත නැවත සිතා බැලිය යුතු දෙයක්..
ඒ නිසා පින්වත් යාලුවනේ...බිඳිල විසිරිලා වැනසිලා පිච්චිලා යන කය රැක ගන්න විවිධ දේවල් කෙරුවට, ඒකෙන් අපිට සැබෑ සැනසිල්ල ලබල දෙන්නෙ නෑ.. මනස සුවපත් කරන අවුෂධය හැම දවසක ම ටික ටික හරි අපි ගන්න ඕන.. ඒ දහම් අවුෂධය පානය කරන්න ප්‍රමාද වුණොත් අපිට ත් කවදා හරි තැවෙන පසුතැවෙන ජීවිතයක් උරුම වේවි..
ඊට කලින් අපි අප්‍රමාදී වෙමු..ඒ බුදු සමිඳුන් පෙන්වා වදාළ සියලු දුක් නිවන නිවන් මගේ ම හැසිරෙන්නට උත්සාහවත් වෙමු.. ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවා..
(ඇගේ ජීවිතය ගැන කියැවෙන මේ වීඩියෝ දර්ශනය ත් නරඹන්න කියල ඉල්ලා සිටිනවා.)













45